ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ ගැන නිවැරැදි තොරතුරු ජනතාව අතරට යන්නේ නැහැ

  👤  3161 readers have read this article !
By mawbima 2018-04-19

රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් රට සංවර්ධනය කරා ගෙන යෑමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ නිවැරැදි තොරතුරු රටේ මහජනතාව අතරට ගලා නොයන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.

ඇතැම් මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි පටු දේශපාලන අරමුණු සහ වාණිජ අරමුණු උදෙසා සත්‍ය යටපත් කොට අසත්‍ය ඉස්මතු කිරීමට උත්සාහ දැරීම ඊට ප්‍රධාන හේතුව බවද ජනාධිපතිවරයා අවධාරණය කළේ පෙරේදා (17දා) ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූ අවස්ථාවේදීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට පැමිණි අවස්ථාවේ එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකිකයන් වන ඔබව හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෝකයේ සෑම ක්ෂේත්‍රයකම උගතුන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන්, විශේෂඥයන්, බහුශ්‍රැතයන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් වශයෙන් කටයුතු කරනවා. එසේ කටයුතු කිරීම මඟින් අපේ ආදරණීය මාතෘභූමියට ඒ සියලුදෙනා ලබා දෙන්නා වූ ගෞරවය අපිට කිසිවිටෙකත් අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ විවිධ රටවල විවිධ ජාතීන් අතරේ ශ්‍රී ලාංකිකයන් සැමවිටම කැපී පෙනෙන හැකියාවන් සහ දක්ෂතාවන් පෙන්නුම් කරනවා. දීර්ඝ කාලයක් සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා රජයේ ගෞරවය අපි පිරිනමනවා.

ඔබ මෙහි ජීවත් වුවත් අපගේ මාතෘභූමිය පිළිබඳ තොරතුරු ඔබ දන්නවා. නමුත් කොතෙක් දුරට නිවැරැදි තොරතුරු ඔබ වෙත ගලා එනවාද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බව මම දකිනවා. අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මා හමුවීමට පැමිණ සිටියා. බොහෝ වෙලාවට පෞද්ගලික සහ සංවිධාන වශයෙන් හමුවී කතා කරනවා. එම සාකච්ඡා මඟින් මා අවබෝධ කරගත් කරුණක් වන්නේ, මොනතරම් වැරැදි තොරතුරු ඔබ අහනවා ද දකිනවාද කියන කාරණාව. අන්තර්ජාලයෙහි තිබෙන ප්‍රකාශන, ප්‍රවෘත්ති තුළ පැහැදිලි ලෙසම 75%කට වඩා තිබෙන්නේ සත්‍යයෙන් තොරවූ දේවල්. අසත්‍ය වූ දේවල්. නිමල් සිරිපාල ඇමැතිතුමාත් මමත් අද සාකච්ඡා කිහිපයකම එකට වාඩි වුණා. ඇමැතිතුමාත් ළඟ සිටි නිසා සමහර දේවල්වලට මට සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණා.

පසුගිය දිනවල අපේ රටේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිංහල - මුස්ලිම් ගැටුම්වලදී සිදුවූ සිද්ධීන් සහ එම පසුබිම් පිළිබඳව සත්‍යයට වඩා කොතරම් අසත්‍ය දේ පැතිර ගොස් තිබෙනවාද. එමෙන්ම රජය කළ කාර්යයන් පිළිබඳව නිවැරැදි තොරතුරු මොනතරම් අඩුවෙන් වාර්තා වී තිබෙනවාද. වැරැදි තොරතුරු මොනතරම් වේගයෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ලැබී තිබෙනවාද කියන කාරණාව මම දැකපු දෙයක්. මහනුවර ඇතිවූ සිදුවීමේදී පැය කිහිපයක් තුළ අපි රජය විදියට ඇඳිරි නීතිය දැම්මා. හදිසි නීතිය දැම්මා. ත්‍රිවිධ හමුදාව යෙදෙව්වා. සමාජ වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම වසා දැම්මා. දැඩි විරෝධතාවන් මැද තානාපතිවරුන්ට අපේ රටේ සිටින සමහර අයට ලොකු අමාරුවක් හැදුණා මේවා අපි කරනකොට. සමහර අය චෝදනා ස්වරූපයෙන් කතා කරන්න ගත්තා. විදේශීය තානාපතිවරු සීමාවෙන් එහා කතා කරන්න ගත්තා. ඒ කිසිම දෙයකට අපි සැලුණේ නැහැ. බය වුණේ නැහැ. ගන්න තිබුණු තීන්දු තීරණ අපි නිසියාකාරව ගත්තා. රටක් විදියට සිදුවීමට ගිය විශාල විනාශයක් අපිට වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා.

එක්සත් ජාතීන්ගේ අනු සංවිධානයක් ඒ දිනවල වාර්තා කළා ඇමෙරිකාවටත් බැරි වූ දේ ශ්‍රී ලංකා රජය සමාජ වෙබ් අඩවි වසා දැමීම ඉතා විශිෂ්ට විදියට සිදුකළා කියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් තවත් අනු සංවිධානයක් කියා සිටියා, මහනුවර සිදුවීමේදී ශ්‍රී ලංකා රජය කළ දේ මියන්මාරයේ පළමුවැනි සිදුවීම ඇතිවූ අවස්ථාවේදී මියන්මාරය කළා නම්, මියන්මාරයේ අද සිදුවන මහා ඛේදවාචකය ඒ රටේ අද සිදුවෙන්නේ නැහැ කියා. ජාත්‍යන්තර සංවිධාන සියල්ලම අපි කළ දේ නිවැරැදියි කිව්වා. අපේ රටේ මවුපියන්, ඒ වැඩේ ඉතාමත් හොඳයි කියා කිව්වා. මගෙන් ඉල්ලා සිටියා පුළුවන් නම් හැමදාටම වෙබ් අඩවි වසා දමන්න කියා. ළමයි හදාගන්න බැහැ කියා. අ.පො.ස. සා/පෙළ හා අ.පො.ස. උ/පෙළ ලියන ළමයින්ගේ මවුපියන් මට කතා කළා. ටෙලිග්‍රෑම් එව්වා. ලිපි එව්වා ඒ වැඩේ ඉතාමත් හොඳයි කියා. අපි යහපත් සමාජයක් ගොඩනඟන්න ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් එහි තිබෙන අගයන් අපි සෑම කෙනෙක්ම දන්නවා. මේ සියලු දේවල්වලින් ලබාදෙන නිදහස යහපත් මිනිස්සු යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිස්සු ඒවා අයහපත් ලෙස භාවිත කරනවාද යන ප්‍රශ්නය මුළු සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක් වී තිබෙනවා. තාක්ෂණය සහ මිනිසාගේ නිදහස දියුණු සමාජයකට දීමේදී දියුණු මිනිසුන් යහපත් ලෙස සිය ඥානයෙන්, ප්‍රඥාවෙන් සහ නුවණින් ඒවා භුක්ති විඳිනවා වගේම අයහපත් ලෙස ඒවා භාවිත කරන අය කෙතෙක්ද කියා අපි දකින දෙයක්.

අපේ රටේ ඇතැම් අය හිතනවා දේශපාලන ඝට්ටන තිබෙන්නේ අපේ රටේ විතරයි කියලා. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යතුමිය තෙරේසා මේ මැතිනිය පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට ආපු රාජ්‍ය නායකයන් හමුවෙන්න නියමිතව තිබුණා නමුත් පාර්ලිමේන්තුවේ තිබුණු තත්ත්වයත් එක්ක හදිසියේම එම හමුව අවලංගු කළා.

රජයක් විදියට අපේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් කළ යුතු කළ හැකි වගකීම් නොපිරිහෙළා වගකීමකින් ඉෂ්ට කරනවා. සියලු ජාතීන්ගේ සමඟිය ගොඩනඟන්න, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ සැබෑ සහජීවනයක් ඇති කරන්න, සැබෑ සමඟියක් ඇති කරන්න, ගැටුම්වලින් තොර සමාජයක් ගොඩනඟන්න, නැවත යුද්ධයක් ඇති නොවන විදියට අපි කටයුතු කරනවා. පසුගිය අවුරුදු තුනක තුනහමාරක කාලය තුළ අපේ ආණ්ඩුව විශාල වැඩ කොටසක් කරලා තිබෙනවා. ඒ වැඩවල ප්‍රතිඵල තිබෙනවා. ඒ ප්‍රතිඵල නිවැරැදි ලෙස සමාජයට ගලා එන්නේ නැහැ.

අපේ රටේ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ආයතන රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් වැරැදි විදියට භාවිත කරනවාද කියන ප්‍රශ්නය අපි දකිනවා. සත්‍යයෙන් තොර දේවල්, ගැටුම් සහගත දේවල් නිතරම ඒවායේ ප්‍රචාරය වෙනවා. මාධ්‍යයේ තිබිය යුතු ගුණාත්මකභාවය කොතෙක් දුරට ඔවුන් රකිනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසයි මම කියන්නේ අයහපත් දේ සමාජයට දීම නිසා රටේ ඇතිවෙන පසුබෑම් වෙනුවෙන් ඒ සෑම අංශයකම කෙනෙක් ඒ වගකීම ගත යුතු වෙනවා. අපේ මාතෘභූමියේ අනාගතය සඳහා දැනට අවසන් කර ඇති සහ කරගෙන යන ආර්ථික සැලසුම් පැහැදිලිවම ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා. රටේ සංවර්ධන කටයුතුත් ඉතාමත් වේගයෙන් කරගෙන යනවා. ඒවායේ කිසිදු අඩුපාඩුවක් නැහැ. ඒවගේම පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ අන්තර්ජාතික වශයෙන් අපි ලබා ඇති ජයග්‍රහණ රාශියක් තිබෙනවා.

යුරෝපය, ඇමෙරිකාව, මහ බි්‍රතාන්‍ය වගේම චීනය, ඉන්දියාව, රුසියාව, ජපානයත්, මැද පෙරදිග රටවලුත් අපේ මිත්‍රයෝ. මම දකින්නේ නැහැ නිදහසින් පසු ලංකාවේ අන්තර්ජාතික සබඳතා මේ තරම් ශක්තිමත්ව තිබුණු කාලයක්. මෙය මම ජනාධිපති නිසා කියනවා නෙවෙයි. ලෝකයේ තිබුණු දේශපාලන බලකඳවුරු දෙකෙන් එක් පාර්ශ්වයක හොඳ හිත දිනාගැනීමත් අනික් පාර්ශ්වය අෑත් වීමක් තමයි අතීතයේ සිටම සිදුවුණේ.

ලෝකය තනි බලයකට යටත්වීමත් සමඟ ඉරාකය, ලිබියාව වැනි රටවල් මුළුමනින්ම කඩාදමනු ලැබුවා. ඉරාකයේ අදත් මොනතරම් මිනිස්සු මැරෙනවාද කියලා ඔබ දන්නවා. ලිබියාව රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඉරාකය රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල නිසා තමයි අද තිබෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදය කියන එක නිර්මාණය වුණේ කියලා අපි නම් විශ්වාස කරන්නේ. ජනගහනය අඩු වුණා භූමියෙන් පුංචි රටක් වුණාට ශේ්‍රෂ්ඨ ජාතියක් විදියට ගෞරවාන්විත ජාතියක් විදියට අපි සෑම විටම ජාත්‍යන්තරය ඉදිරියේ අපේ ප්‍රතිපත්තීන් තුළ රැඳී සිටිය යුතු වෙනවා. ඒ තුළ අපිට ලෝකයේ සෑම කෙනෙක්ම දිනාගන්න පුළුවන්. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ බලකඳවුරුවාදයෙන් බැහැරව. විශේෂයෙන්ම නොබැඳි ප්‍රතිපත්තීන් තුළ අපේ රජය මූලික වශයෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගෙන තිබෙනවා. මාධ්‍ය තුළ පළවන අයහපත් දේ සහ අසුබවාදී දේ ප්‍රතික්ෂේප කරමින් රටේ අනාගතය සඳහා අපේ මාතෘභූමියේ හෙට උපදින දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදන්න අපි සෑමවිටම කැපවීම් කළ යුතු වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon