රිය අනතුරින් තාත්තා නැති වුණා රට ගිය අම්මා උදවු කරන්නේ නැහැ ආච්චිටයි, සීයටයි අපිව ජීවත් කරවන්න බැහැ

  👤  3238 readers have read this article !
By mawbima 2018-04-20

මවුපිය සෙනෙහස අහිමිව දහසකුත් දුක් වේදනා මැද සිප් සතර හදාරන දරුවන් තිදෙනෙක් පිළිබඳ සංවේදී පුවතක් මගේ මිතුරකුගෙන් අසන්නට ලැබිණි.
අපි ඔවුන් සොයා අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ වතුගෙදර පරගහතොට, බදුවත්ත පාරේ පිහිටි කුඩා නිවෙස වෙත ගියෙමු.
පොල් ගෙඩියක් අතැතිව නිවෙස දෙසට පැමිණි මවගෙන් කොහේද අම්මේ ගියේ යැයි මගේ මිතුරා ඇසුවේය.


අනේ පුතේ රෑට පාන් කන්න හොද්දක් හදාගන්න පොල් ගෙඩියක් ගේන්න කඩයට ගියා යැයි ඇය නිරහංකාරව පැවසුවාය.
ඇයගෙන් ලද ආරාධනාවකට අනුව තහඩු සෙවිලි කළ කුඩා නිවෙසට ඇතුළු වී සාලයේ තබා තිබූ ඇඳ මත වාඩි වුණෙමි. මගේ මිතුරා ඇයට මාව හඳුන්වා දුන්නේය.
බද්දේගමගේ සීලවතී (63) නම් වූ ඇය සිය කතාව මෙසේ කීවාය.

මගේ පුතා ගිය අවුරුද්දේ ජුනි 25 දින රිය අනතුරකින් නැති වුණා. එතකොටත් ලේලි රට හිටියේ. මළගමට එයා ආවා. මාස දෙක තුනකින් රට ගියා.
දැන් කතා කරන්නෙවත් නැහැ. දරුවො තුන්දෙනාම අසරණයි. ඒ තුන්දෙනාටම හොඳින් ඉගෙන ගන්න පුළුවන්. ඒත් පොත්පත් ගන්නවත් අපිට විදියක් නැහැ. මම ලෙඩින් ඉන්නේ. ගෙදර ‍ෙදාරේවත් වැඩක් කරන්න අමාරුයි. මගේ මහත්තයට වයස හැත්තෑ තුනක් වෙනවා. එයා පෙදරේරු රස්සාව කළා. දැන් වැඩ කරන්න බැහැ. එයාගේ බෙහෙත්වලට මාසෙකට ලොකු මුදලක් වැය වෙනවා. අපට දරුවෝ වැඩි නැහැ.


ඒත් මේ දරුවෝ මොනවා හරි අරන් ඉල්ලුවාම දෙන්න බැරි වුණාම දුක හිතෙනවා යැයි ඇය කඳුළු පිරි දෙනෙතින් පැවසුවාය.
මිත්තණියගේ වේදනාව දරා ගැනීමට නොහැකි වූ බී. අශේනි කුමාරි (14) මිනිබිරිය මෙසේ පැවසුවාය.


තාත්තා නැති වුණාට පස්සේ අපි හිතුවේ රට ඉඳලා ආපු අම්මා අපිත් එක්ක හැමදාම ඉඳියි කියලා. ඒත් අම්මා රට ගියා. දැන් කතා කරන්නෙවත් නැහැ.
මම ඉගෙන ගන්නේ 10 වැනි ශේ‍ර්ණියේ, ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා පන්තියකට යන්නවත් ශක්තියක් නැහැ. ආච්චිටයි, සීයටයි දැන් වයසයි. ඒ දෙන්නට අපිව ජීවත් කරවන්න අමාරුයි. ඒත් සීයා සමහර වෙලාවට කුලී වැඩට පවා යනවා.


ඇති හැකි අයගෙන් අපි ඉල්ලා සිටින්නේ මල්ලිලා දෙන්නගෙයි මගෙයි අධ්‍යාපනයට උදවු කරන්න කියලා. ඔය හැමෝටම පින් සිද්ධ වෙනවා යැයි දැරිය අහිංසකව පැවසුවාය. සිය සහෝදරියගේ නෙත් තුළින් කඳුළු කැට වැටෙන හැටි උළුවස්සට හේත්තු වී බී. හංස සඳරුවන් (10) බී. තිමිර සඳරුවන් (08) යන සහෝදරයන් දෙදෙනා වේදනාත්මකව බලා සිටියේය.
මේ අසරණ කැදැල්ලට සරණක් විය හැකි නම් 077-1526251 යන දුරකතන අංකයට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

හික්කඩුව - සංජීව මාණික්කුවාවඩු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon