සීමා නිර්ණ කමිටු වාර්තාවට පාර්ලිමේන්තු අනුමතිය ගැනීමට ආණ්ඩුවත් අගමැතිවරයාත් ක්‍රියා කළේ නෑ

  👤  2939 readers have read this article !
By mawbima 2018-04-20

ජේ.ටී. ද සිල්වා
නිල කාලය අවසන් වී ඇති උතුරු මැද, නැඟෙනහිර සහ සබරගමුව පළාත් සභා තුන සඳහා මැතිවරණය පැවැත්වීම කල්යැවීමේ අරමුණින් සීමා නිර්ණ කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ආණ්ඩුවත්, අගමැතිවරයාත් ක්‍රියා නොකළ බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන චෝදනා කරයි.
සීමා නිර්ණ කමිටු වාර්තාව විෂය භාර ඇමැති ෆයිසර් මුස්තාපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට උනන්දුවක් නොදැක් වූ බව සඳහන් කරන මන්ත්‍රිවරයා එවැනි අවස්ථාවකදී කතානායකවරයා විසින් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සියලු ජනකොටස් ඇතුළත් වන සේ සමාලෝචන කමිටුවක් පත් කළ යුතු බවට පළාත් සභා මැතිවරණ සංශෝධන පනතේ සඳහන්ව ඇතත් එවැන්නක් සිදු වී නොමැති බව අවධාරණය කරයි.


මේ සම්බන්ධයෙන් නීතිපති විමසන බවට කතානායකවරයා පැවැසුවද, නීතිපතිවරයාට ඉදිරිපත් කළ හැකි වන්නේ මතයක් පමණක් බවත් නීතිපතිවරයා ඉදිරිපත් කරනු ලබන මතය හැම අවස්ථාවකදීම ශේ‍ර්ෂ්ඨාධිකරණය පිළිනොගන්නා බවද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.


කතානායකවරයා, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන කමිටුවක් පත් කර ලබා ගන්නා වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බැවින් එවැනි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළේ නම් ඒ අනුව ජනාධිපතිවරයාට ඉදිරි පියවර ගත හැකි බවද හෙතෙම පවසයි.


කෙසේ වුවද ජනතාවගේ ඡන්ද අයිතිය රැකදීම ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් කතානායකවරයාගේත් වගකීමක් බවත් මැයි මස 8 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කළ වහාම කතානායකවරයා අගමැතිගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන කමිටුවක් පත් කළ යුතු බවත් එම සමාලෝචන කමිටු වාර්තාව මාස දෙකක් ඇතුළත ලබාගෙන ජනාධිපතිවරයා වෙත භාර දිය යුතු බවත් දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.


සමාලෝචන වාර්තාව ලැබුණු පසු එය කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් අනතුරුව එම වාර්තාවේ නිර්දේශ ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු බවත් එය එසේ සිදුවන්නේ නම් ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා වන බව මන්ත්‍රිවරයා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon