පොහොර හිඟයක් නෑ යල කන්නයට අවශ්‍ය පොහොර විධිමත් අයුරින් කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා

  👤  2922 readers have read this article !
By mawbima 2018-04-20

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර


ඡායා - දුමිඳු වනිගසේකර
යල කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර විධිමත් ක්‍රමවේදයක් හරහා කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.


ඒ අනුව යල කන්නයට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා අදාළ නාමලේඛන සංවර්ධන නිලධාරීන් හරහා පොහොර ලේකම් කාර්යාලයට ලැබී දිනක් ඇතුළතදී පොහොර නිකුත් කරන බව හෙතෙම පවසයි.


මේ වන විට යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ආණ්ඩුව සතු වන බවත් කිසිදු ආකාරයක පොහොර හිඟයක් නැති බවත් පැවැසූ අමාත්‍යවරයා වී වගාවට අවශ්‍ය කරන යූරියා මෙටි්‍රක් ටොන් 60,000ක්, ටී.එස්.පී. පොහොර මෙටි්‍රක් ටොන් 14,389ක් සහ එම්.ඕ.පී. පොහොර මෙටි්‍රක් ටොන් 25,670ක් වශයෙන් සම්පූර්ණයෙන් පොහොර මෙටි්‍රක් ටොන් 1,37,738ක තොගයක් දිවයින පුරා තිබෙන නිකවැරටිය, බදුල්ල, ගලෙන්බිඳුණුවැව, මුරුක්කන්, බුත්තල, හඟුරන්කෙත, නියාගම, මැදිරිගිරිය, බකමූණ යන පොහොර ගබඩාවලට යවා තිබෙන බවද කීය.


අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පෙරේදා 18දා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පොහොර සහනාධාරය සම්බන්ධයෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.


වී ගොවින් සඳහා යූරියා, ටී.එස්.පී. සහ එම්.ඕ.පී. පොහොර මිටියක් රුපියල් 500ක මිලකටත් අතුරු බෝග වගාකරන ගොවීන් සඳහා එම පොහොර මිටියක් රුපියල් 1,500ක සහන මිලකටත් ලබාදීමට රජය පියවර ගෙන තිබෙන බව පැවැසූ අමාත්‍යවරයා ඊට වඩා වැඩි මිලකට පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයන්ට සහ වැඩි මිලට පොහොර මිලදී ගන්නා ගොවීන්ට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද අවධාරණය කෙළේය.


යූරියා, ටී.එස්.පී., එම්.ඕ.පී.එස්.ඒ. යන පොහොර මිටියක් වී ගොවීන් සඳහා රුපියල් 500කට වැඩි මුදලකටත් අනෙකුත් බෝග සඳහා රුපියල් 1,500ට වැඩි මිලකටත් අලෙවි කරන ස්ථාන තිබේ නම් සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, පොහොර ලේකම් කාර්යාලය යන ස්ථාන දැනුවත් කරන ලෙසත් ඒ පිළිබඳ පැමිණිලි කෘෂිකර්ම අමාත්‍යාංශයේ '0113036666' යන දුරකතන අංකයට ඇමැතුමක් ලබා දෙන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය.


ගොවිජන සේවා කාර්යාල මඟින් වී ගොවීන්ට අක්කර 5ක් සඳහා පමණක් පොහොර ලබාදෙන බව පැවැසූ අමාත්‍යවරයා එළවළු, පලතුරු, තේ, පොල්, රබර් ඇතුළු අමතර බෝග සඳහා ගොවිජන සේවා කාර්යාල මඟින් ගොවීන්ට පොහොර නිකුත් නොකරන බවත් එම වගාවන් සඳහා පෞද්ගලික අංශයෙන් රුපියල් 1,500ක මිලකට පොහොර ලබාගත හැකි බවත් වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon