පරිගණකය කියන්නේ වල්පල් සොයන උපකරණයක් නෙවෙයි

  👤  2941 readers have read this article !
By mawbima 2018-04-20

මානව සමාජය විවිධ යුග පසු කරමින් පැමිණියා. අද මානව සමාජය ඉන්නේ ඩිජිටල් යුගයක. මුළු මහත් මානව සමාජයේම හැම අස්සක් මුල්ලක් නෑරම ඩිජිටල්කරණය වෙලා. ඒ ඩිජිටල්කරණයට ප්‍රධාන වශයෙන් බලපෑ මෙවලම තමයි පරිගණකය. පරිගණකයක් ළඟ තියෙනවා කියන්නේ මුළු ලෝකයම ළඟ තියෙනවා කියන එක යැයි ප්‍රඥාප්‍රදීප සංකල්පයේ නිර්මාතෘ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළේය.


බොරැල්ල සුසමයවර්ධන විද්‍යාලයට පරිගණක බෙදාදීමේ උත්සවයේදී ඒ මහතා එසේ පැවැසීය.
එම උත්සව සභාවේදී ඔහු මෙසේද පැවැසීය.


අපට පරිගණකය අමතක කරලා කිසිම දෙයක් කරන්න බැහැ. පරිගණකය ජීවිතයේ සියලුම පැති වෙළාගෙන තියෙනවා. පරිගණකය උපකරණයක්. හැබැයි උපකරණයක් පාවිච්චි කරන ආකාරය අනුව තමයි ඒකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ.


පරිගණකය නමැති උපකරණය අද අපේ ළමයින්, ගොඩක් පාවිච්චි කරන්නේ වඳුරා දැලි පිහිය පාවිච්චි කරන විධියට. මේ නිසා මේ උපකරණයෙන් නිසි ප්‍රතිඵල ලබාගැනීමට බැරි වෙලා තියෙනවා. අද අපේ ගොඩක් අය පරිගණකය පාවිච්චි කරන්නේ ෆේස්බුක් යන්න. ෆේස්බුක් කියන්නේ ජීවිතයම කා දමන සෙල්ලමක්. ඒකට ගියාම කාලය කා දමන ආකාරය ගැන කිසිම නිච්චියක් නැහැ. ඉතින් කාලය කා දමනවා කියන්නේ ජීවිතය කාදැමීමක්. ඒ නිසා මේ පරිගණකය නමැති මහඟු උපකරණය ජීවිතය ගොඩනැඟීමට පාවිච්චි කරන්න.


අද ලෝකයේ මුදල් හම්බ කරන්න තිබෙන ප්‍රධාන මාර්ගයක් තමයි දැනුම. දැනුමට ඉතාම හොඳ වෙළෙඳපොළක් ලෝකය පුරා තිබෙනවා. දැනුමට තිබෙන මේ වෙළෙඳපොළ අප තේරුම් ගන්න ඕනෑ. මේ වෙළෙඳපොළට කියන්නේ දැනුම් ආර්ථිකයක් කියලා. මේ දැනුම් ආර්ථිකයට යෑමට තිබෙන හොඳම මඟ තමයි පරිගණකය. ඔබ හොඳ විවෘත මනසකින් පරිගණකය භාවිත කරන්නේ නම් ඔබට නිතර නිතර අලුත් වන නව දැනුම ලබාගන්න පුළුවන්. මේ දැනුම නැතිව ලෝකය සමඟ අපට ගනුදෙනු කරන්න බැහැ.


පරිගණකය හොඳට භාවිත කරනවා නම් ඒක ඉදිරියේ ඉඳගෙන ඔබට හොඳට මුදල් උපයන්න පුළුවන්. ඒ නිසා පරිගණකය කාලය කා දමන උපකරණයක් නොව ඔබේ ජීවිතයට අර්ථයක් එකතු කරන උපකරණයක් කර ගන්න. පරිගණකය ඔබේ ගුරුවරයා කර ගන්න. පරිගණකය යොදාගෙන අන්තර්ජාලයේ සැරිසරා ඔබට විවිධ ක්‍ෂේත්‍රවල දැනුම උපයා ගන්න පුළුවන්.


පරිගණකය හරහා ගොස් දැනුම සොයා ගන්නා ආකාරය ගැන දරුවන් දැනුවත් කළ යුතුයි. අද පොත්පත් රැසක් පෙරළා ලබා ගත යුතු දැනුම පරිගණකයේ පැයක් සැරිසරා අපට ලබා ගන්න පුළුවන්. නමුත් අද අප පුරුදු වෙලා තියෙන්නේ පරිගණකයෙන් වල්පල් සොයන්න උත්සාහ කිරීමයි. මේක වෙනස් විය යුතුයි. ලෝකයේ දියුණු රටවල් පරිගණකය යොදාගෙන පිමි කිහිපයක් ඉස්සරහට ගිහින්. ඔවුන් අභ්‍යවකාශය පවා අල්ලලා. නමුත් අපේ රටේ බොහෝ පාසල් තවම පරිගණකය පන්ති කාමරයට අරගෙන නැහැ.


මේ අවස්ථාවට සුසමයවර්ධන විද්‍යාලයීය විදුහල්පති ඩබ්ලිව්. ඒ. කපිල වීරසූරිය මහතා ඇතුළු ගුරු මණ්ඩලයද එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon