දකුණු මුහුදු තීරයේ ක්‍රියාත්මක වන මාෆියා කල්ලිවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න

  👤  3061 readers have read this article !
By mawbima 2018-04-20

බළපිටිය - දම්සරී ලියනගේ


සංචාරකයන්ට හා හෝටල් හිමියන්ට අඩන්තේට්ටම් කරමින් දකුණු මුහුදු තීරයේ ක්‍රියාත්මක වන මාෆියා කල්ලිවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. මෙම අඩන්තේට්ටම් කිරීම් දකුණේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ අනුග්‍රහය ඇතිව සිදු කරන බවද හෝටල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.


ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර තිබේ. මෙම ලිපියේ පිටපත් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ පොලිස්පතිවරයා වෙතද යොමුකර තිබේ.


මුහුදු තීරයේ ගැවසෙන බීච් බෝයිලාට එරෙහිව කටයුතු කිරීමේදී හෝටල් කළමනාකරුවන්ට පවා තර්ජන එල්ල වන අවස්ථා තිබෙන බවද ඒ මහතා විසින් යොමු කරන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. සංචාරකයන්ට සහ හෝටල් පරිපාලනයට හානිදායක කණ්ඩායම් පාලනය නොකළහොත් ඉදිරියේදී මෙරට සංචාරක කර්මාන්තයට දැඩි අහිතකර බලපෑමක් එල්ල වන බවද උක්වත්ත මහතා පෙන්වා දී තිබේ.


දකුණු මුහුදු තීරයේ විශේෂයෙන්ම උණවටුන හා මිරිස්ස යන ප්‍රදේශයන්හිදී දේශීය හා විදේශීය සංචාරකයන්ට හිරිහැර කිරීමේ සිද්ධීන් ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වූයේ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ සැරිසරන බීච් බෝයිස් යනුවෙන් හඳුන්වන තරුණ කොටස්වලටය.


බීච් බෝයිස්ලාගෙන් සංචාරකයන්ට සිදුවන හිරිහැර විශාල වශයෙන් ඇතත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට බොහෝ සංචාරකයන් උනන්දු නොවීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇති බවද දැනගන්නට තිබේ.


දකුණු මුහුදු තීරයේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේද අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන බව කියන බීච් බෝයි මාෆියාවට එරෙහිව පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස සංචාරක අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබෙන බව සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේය. විදේශීය සංචාරකයන් සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි අංශ සමඟ කටයුතු කරන්නේ නම් අනවශ්‍ය ගැටලුකාරි තත්ත්වයන් ඇති නොවන බවද වැඩි දුරටත් සඳහන් කළ එම ප්‍රකාශකයා, සෑම විටම සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි අංශ සමඟ කටයුතු කරන ලෙසද සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියේය.


සංචාරකයන්ට බහුල වශයෙන් හිරිහැර සිදු කෙරෙන මිරිස්ස ප්‍රදේශයේ ඉදිරි කාලය තුළ විශේෂ සංචාරක පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීමටද පොලිසියේ අවධානය යොමුවී තිබේ. දැනට ක්‍රියාත්මක සංචාරක මුරපොළවල් එකොළහට අමතරව තවත් සංචාරක ප්‍රදේශ දහනවයකටද එවැනි පොලිස් ඒකක ස්ථාපිත කිරීමටද පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon