විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාවට එජාපයත් හවුල්දැයි සැකයි

  👤  3061 readers have read this article !
By mawbima 2018-04-20

රනිල්ගේ ආණ්ඩුව පරද්දන්න නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරු සාදරයෙන් පිළිගත යුතුයි. මන්ත්‍රි වාසුදේව කියයි.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18දා) එම පක්‍ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු එසේ කීය.


ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා යෝජනාවක් ගෙන එන්නට යන බව දන්වා තිබෙනවා. එවැනි යෝජනාවක් ගෙන එනවා නම් විපක්‍ෂය ඒ යෝජනාවට ක්‍රියාත්මක වීමට නෛතික බලයක් නෑ. ඒ යෝජනාව සම්මත වී ක්‍රියාත්මක වීමට නම් එය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අනුමත කරපු යෝජනාවක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුතුයි. එය එහෙම වෙනවා නම් ජනතා විමුක්ති පරමුණේ යෝජනාව එක්සත් ජාතික පක්‍ෂය විසිනුත් අනුමත කරලා, කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය සහිතව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩකඩ සැලසීමට බොහෝවිට පුළුවන් කියලා ඉඩකඩ තිබෙනවා.


මොකද රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය ජනාධිපති ධුරයෙන් බලය නැති කිරීම. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ කරන යෝජනාව තමන්ගේ අතට ගැනීමටත්, එයට රුකුල් දීමටත් රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්‍ෂයත් සූදානම් බවට සැකයක් නෑ. නමුත් අපි කල්පනා කරන විධියට රනිල් වික්‍රමසිංහට තනි බලයක් සහිත ආණ්ඩුවක් ඇතිවීම අපිට විය හැකි බරපතළම අනතුරක්. එනිසා ප්‍රතිපත්තියක් හැටියට ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒක අපිත් පිළිගන්නවා. නමුත් මෙම සන්දර්භය තුළ අගමැතිවරයාගේ අභිමතය පරිදි සියලු බලතල ඔහුගේ යටතට ගැනීමට හැකිවන තත්ත්වයක් උදාවීම බරපතළ අනතුරකින් හැටියට අපි දකිනවා.


බන්දුල ගුණවර්ධන මහතා ඉතා වැදගත් යෝජනා කරලා තියෙනවා. එනම් මේ ජනාධිපති ධුරය අවසන් කිරීමේ යෝජනාවත් එක්කම මහ මැතිවරණයක් පැවැත්වීම එකට සම්බන්ධ කරන්න ඕනේ. කවුරුත් දන්නා ආකාරයට අවුරුදු හතරහමාරකට කලින් මහ මැතිවරණය පවත්වන්න නම් ඒ සඳහා තුනෙන් දෙකක යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ ඇති වෙන්න ඕනේ. ඒ නිසා මේ ජනාධිපති ධුරය අවසන් කිරීමේ යෝජනා තුනෙන් දෙකකට ඡන්දයක් මුළු මන්ත්‍රි සංඛ්‍යාවෙන් අවශ්‍ය තත්ත්වයක් තුළ ධුර කාලය අවසන් වූ පසු ජනාධිපති ධුරය අහෝසි වීමත්, එය මෙරට පාර්ලිමේන්තුවේ ඡන්දය වහාම පැවැත්වීමටත් තියෙන කරුණු දෙක එකට බැඳී බැඳෙමින් ගෙන එන යෝජනාවක් අපි අනුමත කළ යුතු යැයි විශ්වාස කරනවා.


ජනතා විමුක්ති පෙරමුණ මේ වෙලාවේ එක්සත් ජාතික පක්‍ෂයේ අනුදැනුම ඇතිව විය යුතුයි මේ යෝජනාව ගෙනත් තියෙන්නේ.
විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන්නු දහසය දෙනා විපක්‍ෂයේ වාඩි වෙන්නත් තීන්දු කරගෙනයි ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී දෙන තීන්දුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලු දෙනාම පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමටත් ඒ අනුව ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවක් එළැඹීමට අනෙක් අතට ජනාධිපතිතුමාගේ බලය නැති කිරීමත් මේ දෙක එකට හැප්පෙනවා. මේ හැප්පීම ඇති කිරීමෙන් බලාපොරොත්තු වන ජනතා විමුක්ති පෙරමුණේ සහ එජාපයේ බලාපොරොත්තු වන්නේ අපි ඒකාබද්ධ විපක්‍ෂය අතර පරස්පරයක් ඇති කිරීමයි.


ඒ නිසා ඒකාබද්ධ විපක්‍ෂයේ අපි කරුණු දෙකකින් ප්‍රවේශම් විය යුතුයි.
ඒ රනිල්ට තනි බලයකට යෑම වැළැක්වීම.


පාර්ලිමේන්තුවේ කාලය අවසන් කර මහ මැතිවරණයකට යෑමටත් එම යෝජනාව තුළ තීන්දුවක් තියෙන්නට ඕන. මෙන්න මේ දෙක එකට සම්බන්ධ කරමින් ජනාධිපතිතුමාගේ ධුර කාලය අවසානයේදී ජනාධිපති ක්‍රමය අවසන් වෙන එක.


දෙවනුව සමහරු කියනවා රනිල් මහජනයා අතර පිළිකුලට භාජන වෙච්ච නායකයෙක්. ඒ නිසා රනිල්ට 2020 වෙනකම්ම ඉන්න අරින්න ඕන. එතකොට තමයි ඒකාබද්ධ විපක්‍ෂයට වඩාත් වාසිදායක මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා. නමුත් අපේ කල්පනාව අනුව මෙතෙක් ජයග්‍රහණ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක මේ රටේ ජනතාවට සිදුවන විපත ගැන ප්‍රශ්නයක්. අද රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ මේ රටේ ජනතාව විනාශයට පත්වෙමින් තිබෙනවා. ජීවන වියදම් බර උසුලා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. විශාල බදු බරක් මේ රටේ සුළු නිෂ්පාදනයන්ගේ කරමතට ඇවිත් තිබෙනවා. මේ විනාශය වහාම වැළැක්වීමට මෙරට පොදු ජනතාවගේ වුවමනාවයි. ඒ නිසා පොදු ජනතාවගේ පැත්තේ ඉඳන් කියන්නේ 2020 ලබාගත හැකි රනිල් විරෝධී හොඳ ජයග්‍රහණ එකට වඩා අද හෙටම රනිල්ගේ ආණ්ඩු බලය අවසන් කිරීමේ වගකීම අපිට පැවරිලා තිබෙනවා. අපි විශ්වාසභංගයක් ගෙන ආවා. එහි ප්‍රතිඵල අපට දකින්න තියෙනවා. රනිල් බේරුණත් යෝජනා සම්මත කරගන්න බැරිවීමෙන් ඒ විහිදී යන පිපිරීම රනිල්ට නවත්වන්න බෑ. වහාම රනිල්ගේ ආණ්ඩු බලය මැඩීම සඳහා අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ශ්වය ආණ්ඩුවෙන් කැඩී එළියට එනවා නම් ඔවුන් සමඟ අපි අත්වැල් බැඳගන්න සූදානම්.


කොළඹ - ජනක විජේවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon