ටැංකියට වැටුණු සේවකයා බේරාගන්න ගිය අයත් සිහිනැතුව වැටුණා

  👤  2998 readers have read this article !
By mawbima 2018-04-20

දෙනගම ධම්මික රණවීර /කොළඹ - එම්.සී. පෙරේරා / හොරණ - රොහාන්


අපි කෑම කන්න යනකොට ආරියපාල අයියා වළ ළඟ ඉන්නවා දැක්කා. ඊළඟට ආරියපාල අයියා වළට වැටුණා කියලා කෑ ගහන සද්දේ ඇහුණා. අනිත් අය එයා බේරගන්න වළ ළඟට දිව්ව්ත් වළ ළඟට යන අයත් සිහිනැතිව වැටුණා. ඒක දැක්කම අපි පාරට පැනලා "බේරගන්න බේරගන්න" කියලා කෑ ගැහුවා එවිට පාරෙ ගිය අයයි ගමේ අයත් දුවගෙන ආවා. ඒ අයත් සිහි නැතිව වැටුණා. අපට මොනවා වෙනවද කියලා හිතාගන්න බැරි වුණා. ටකරංවලින් වහලා තිබුණු වළක් තමයි ආරියපාල අයියා ශුද්ධ කරන්න ගියේ. හැම දෙනාම ඉස්පිරිතාලෙට ගෙනිච්චා. පස්සේ ආරංචි වුණා 5 දෙනෙක් මැරිලා කියලා.


ඊයේ 5 දෙනකුට මරු කැඳවූ හොරණ ඛේදවාචකය ඇසින් දුටු එම කම්හලේ සේවිකාවක් සිද්ධිය පිළිබඳව "මව්බිම'ට අදහස් දැක්වූයේ ඓලෙසිනි.
සේවක සේවිකාවන් 50 දෙනකු පමණ සේවය කරන මෙම කම්හලේ රසායනික දියර පිරි වළක් ශුද්ධ පවිත්‍ර කිරීමට යෑමේදී විස වායුවක් ආඝ්‍රාණය වීමෙන් එහි සේවකයන් වන බැල්ලපිටියේ පදිංචි ආරියපාල (40) අෑගල්ඔය බැල්ලපිටිය පදිංචිව සිටි වරුණ චන්ද්‍රසේකර (23) සහා ප්‍රදේශවාසීන් වන පින්නකොලහේන, වල්පිට හොරණ, පදිංචිව සිටි ප්‍රියන්ත කුමාර පෙරේරා (41), බැල්ලපිටිය හොරණ පදිංචිව සිටි දිලිත් කසුන් ලොකු පතිරගේ (32), අක්කර තිස්පහ බැල්ලපිටිය හොරණ පදිංචිව සිටි ලාල් පුෂ්පකුමාර (28), යන අය මියගොස් තිබේ.


විස වායු ආඝ්‍රාණය වීමෙන් මේ පුද්ගලයන් පස් දෙනා එම ස්ථානයේම මියගොස් ඇති බව හොරණ පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.
හුස්ම ගැනීමට අපහසු වූ 22 දෙදෙනකු රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් සිව්දෙනෙකු මූලික ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටව ගොස් ඇත. දහඅට දෙනෙක් දෙනෙක් හොරණ මූලික රෝහලේ 12 වැනි වාට්ටුවට ඇතුළත් කොට සිටින අතර ඉන් දෙදෙනෙක් කාන්තාවන්ය. ඔවුන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතළ බව හොරණ රෝහලේ වෛද්‍ය අධිකාරි තමර කළුබෝවිල මහතා කීය.


සිද්ධිය වූ ස්ථානයට පැමිණි මධුරාවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි එරන්දි කුලතිලක මහත්මිය එම ස්ථානය නිරීක්‍ෂණය කළ අතර එහිදී ඇය මෙසේද කීවාය.
"අපි මෙම ආයතනයට අපද්‍රව්‍ය කළමනාකරණය කළ යුතු ආකාරය ගැන වරින් වර ලිඛිතව හා වාචිකව උපදෙස් දුන්නා. නමුත් ඔවුන් ඒ උපදෙස් පිළිපැද්දේ නෑ. ඒ පිළිබඳව නීති මඟිනුත් කටයුතු කර තිබෙනවා. දැන් අපි ප්‍රදේශයේ ජනතාවට මේ නිසා යම් හානියක් වෙනවාද යන්නත් ළිං වලට බලපෑමක් ඇත්ද යන්නත් සොයා බලනවා" යැයි කීවාය.


සිද්ධිය ඇසින් දුටු එම කර්මාන්ත ශාලාවට යාබදව පිහිටි පාවහන් නිෂ්පාදන අංශයේ සේවය කරන හසිත දිල්රංග 'මව්බිම'ට මෙසේ කීය.
"වතුර ටැංකියකට වැටිලා බේරගන්න කියලා කට්ටියක් කෑගහන සද්දෙට මමත් යාළුවෙකුත් එතැනට දිව ගියා. එතකොට එක්කෙනෙක් වතුරේ ගිලෙමින් හිටියා. මගේ යාළුවා ටැංකියට බැහැලා ඔහුව බේර ගන්න හැදුවා. ඒත් හුස්ම ගන්න බැරිව ඔහු කණුවක් බදාගත්තා. දැන් ඔහුටත් අසාධ්‍යයි."


"මිය ගිය අයත් රෝහල් ගත කළ අයත් වැඩි දෙනෙක් කර්මාන්ත ශාලාව අසලින් ගමන්ගත් අයයි. බේරගන්න කියලා කෑගහන ශබ්දයට තමයි ඔවුන් කර්මාන්ත ශාලාවට ගිහිල්ලා තියෙන්නේ. ඒත් ඔවුන්ගේත් හුස්ම හිරවී මේ අනතුර සිදුවී තිබෙනවා." ඔහු වැඩිදුරටත් පැවැසීය.


"හොරණ පිහිටි රබර් කර්මාන්ත ශාලාවේ සේවකයකු අනාරක්ෂිත ලෙස කරාමයක් විවෘත කිරීමට ගොස් මෙම අනතුර සිදුවී තිබෙනවා. ඔහුට හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව ආඝ්‍රාණය වීමෙන් සිහි නැති වී ජලයට ඇද වැටෙන්නට ඇතැයි සැක කරනවා." සිද්ධිය පිළිබඳව පරීක්ෂා කිරීමට පැමිණි කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂඥ කර්මාන්තශාලා පරීක්ෂක ඉන්ජිනේරු අසෝක වීරසිංහ අප සමඟ පැවැසීය.


ඊයේ පස්වරු එකට පමණ එම අනතුර සිදුවී තිබේ. රබර් කිරි ගෙනැවිත් මෙම ස්ථානයේදී පදම් කරනු ලබයි. ඒ නිසා ජලය ඇතුළු පරිසර පද්ධතිය දූෂණය වන බව කියමින් ප්‍රදේශවාසීහු මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යෑමට විරුද්ධව උද්ඝෝෂණ පවත්වා ඇත.


එම නිසා කාලයක් වසා දමා තිබූ මෙම කර්මාන්ත ශාලාව වෙනත් නමකින් යළිත් ආරම්භ කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
හොරණ ප්‍රදේශයේ පදිංචි ලාල් විජේරත්න නමැති අයකුට අයත් බව කියන එස්.එන්.සී. රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලෙස සේවය කළ පද්මසිරි එදිරිසිංහ නමැති අය කර්මාන්ත ශාලාවේ කටයුතුවලදී ගතයුතු පියවර අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් ඊයේ සවස හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
හොරණ වැඩබලන මහෙස්ත්‍රාත්වරිය එම ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කළ අතර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකර තිබේ.


මේ අතර කර්මාන්ත ශාලාව අබියසට රැස් වූ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් කර්මාන්ත ශාලාව වසා දමන ලෙසට බලකර සිටියහ. මේ අවස්ථාවට පැමිණි සංස්කෘතික කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම රැස්ව සිටි පිරිසට කලබල නොකර සන්සුන් වන්නැයි ඉල්ලා සිටි අතර, අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමට මැදිහත් වන බව ප්‍රකාශ කළේය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් කම්හලේ කළමනාකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් සිද්ධියට වගකිවයුතු කම්හලේ හිමිකරු සහ අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත්, අදාළ කර්මාන්ත ශාලාවට මුද්‍රා තබන බවත්, පානදුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරි පී.ආර්.පී. සේනානායක මහතා කීය.
එමෙන්ම අධිකරණයට සිද්ධිය සම්බන්ධව කරුණු වාර්තා කර මිය ගිය සේවකයන්ට හා රෝගී වූ සේවකයන්ට වන්දි ලබාදීමටද පියවර ගන්නා බව ඒ මහතා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon