බුදු දහමට පිටුපාන පාලකයන්ට සොබාදහමෙන් දඬුවම් ලැබෙනවා

  👤  2917 readers have read this article !
By mawbima 2018-04-20

බුදු දහමට විරුද්ධව මේ රටේ පාලකයන් කටයුතු කළොත් සොබා දහම විසින්ම තම පාලකයන් විනාශ කරනවා යැයි බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කෙළේය.


ඔහු එම අදහස් පළ කළේ ඊයේ (19දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.


ජාතික වෙසක් සැමරුම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
මේ රටේ ව්‍යවස්ථාවෙන්ම බුදු දහමට ප්‍රමුඛතාව හිමි වෙනවා. බුදු දහම පෝෂණය කිරීමට රජය බැඳී සිටිනවා. මේ රටේ ථෙරවාදී බුදු දහම පැවැතියත් ගිහි පැවිදි දෙපිරිසම ආදර්ශවත්ව කටයුතු කළ යුතුයි. ගිහි ජනතාව මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ විෂමාචාරවලට ඇබ්බැහි වී සිටිනවා.


බුද්ධ ශාසන ඇමැති ලෙස මම සෑම විටම මහනායක හිමිවරුන් ඇතුළු උපදේශක මණ්ඩලයේ අදහස් අරගෙනයි වැඩ කරන්නෙ. ඒ අනුව තවත් සති දෙකකින් ජාතික රජයේ දැක්ම ඇතුළු යෝජනා රැසක් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. දිවයින පුරා සියලුම විහාරස්ථානවල තිබෙන විහාරාංග හා අඩුපාඩු අනුව එම විහාරස්ථාන වර්ග කොට දුෂ්කර විහාරස්ථාන නඟා සිටුවීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවනවා.


දැනට ජනාධිපති, අගමැති, අධ්‍යාපන, බුද්ධ ශාසන, සංස්කෘතික ආදී ආයතනවලට අයත් අරමුදල් මඟින් පන්සල් දියුණු කරනවා. ඒත් එම අරමුදල් සියල්ල එකතු කොට එක් කාර්ය සාධක බළකායක් හරහා බෙදා දීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

පන්සල ගමට බද්ධ කළ යුතුයි. ඒ සඳහා හාමුදුරුවරු ගමට යා යුතු වෙනවා. මේ සඳහා හාමුදුරුවරු අවංක වීම අවශ්‍යයි. ගම ආගම කේන්ද්‍ර කොටගත් මධ්‍යස්ථානයක් බවට පත් කොට සදාචාර වර්ධනය පිණිස කටයුතු කිරීමේ අවශ්‍යතාව අද පවතිනවා.

වෙසක් හා පොසොන් පොහෝය දිනවල තොරණ තහනම් කරල නැහැ. ඒත් එම පොහෝ දෙකෙහි සවස් කාලය ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු කිරීමට යොදවන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ. තොරණ පෙන්නන විට ඒක කානිවල් එකක් කර ගන්නවා.


වෙසක් සහ පොසොන් පොහෝ දිනයේ තොරණ පවත්වනවා වෙනුවට එදින ආගමික කටයුතු සඳහා යොදවන්න කියල හිටපු අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා චක්‍ර ලේඛයකිනුත් දන්වා තිබුණා. අපි දේශපාලකයෝ වුණත් ඡන්දය දිහා බලාගෙන වැඩ කරන්න බැහැ. ඒ වගේම කොන්ද පණ නැතිව වැඩ කරන්නත් බැහැ.


භික්ෂුන් වහන්සේ ගිලන් වන අවස්ථාවල උන්වහන්සේ ප්‍රයෝජනය සඳහා සෞඛ්‍ය රක්ෂණයක් වගේම වැඩිහිටි භික්ෂුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දීමනාවක් ප්‍රදානය කිරීමටද පියවර ගන්නවා.


අට පිරිකර ආදියට ගඩොල් දීපු අවස්ථා ගැන මට හාමුදුරුවරු පැමිණිලි කළා. එවැනි දේවල් සොයා බලා ඒවා සිදු කරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයි.
දෙනගම ධම්මික රණවීර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon