විදුලිසර වැදී අලියකු මිය ගිහින්: මුළු ගමක්ම නොසන්සුන් වෙලා

  👤  2985 readers have read this article !
By mawbima 2018-04-20

මනම්පිටිය _ නිමල් ජයරත්න


විදුලිසැර වැදී අලියකු මියගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට වැලිකන්ද මහින්දාගම ගම්මානයේ කාන්තාවක වනජීවී නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (18දා) සවස අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ලබාගැනීමට යෑමත් සමඟ ප්‍රකෝප වූ ගම්වාසීන් වනජීවී නිලධාරීන් පැමිණි කැබ් රථයකට යෑමට ඉඩනොදී මඟ අහුරා විරෝධය පළ කළහ.


වැලිකන්ද _ මහින්දාගම ගම්මානයේ ගෙවත්තක් පිටුපස විදුලිසැර වැදී මියගොස් සිටි අලියාගේ වයස අවුරුදු 25ක් පමණ වන බවත් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට යෑමේදී ගම්වාසීන් නොසන්සුන්කාරීව තමන්ට බාධා කළ බවත් පොළොන්නරුව වන සත්ත්ව අඩවි සහකාර එස්.ඒ. වික්‍රමරත්න මහතා පැවැසීය.


එම වන අලියා මියගොස් ඇත්තේ අසේලපුර, මහින්දාගම ජේ.එම්. හිල්ඩා ජයසුන්දර (54) නමැති අයට අයත් ගෙවත්තේ පිටුපස බවත් විදුලිසැර වැදී ඇති බවට සැකකරන කම්බි තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය.


ඉඩමේ හිමිකාරිය වන හිල්ඩා ජයසුන්දර මහත්මිය පවසන්නේ වනජීවී නිලධාරීන් පැමිණ තම ගෙවත්තේ සහ නිවෙස තුළ තිබූ කම්බි තොගයක් බලහත්කාරයෙන් ගෙන තමන්ට වරද පැටවීමට උත්සාහ දරන බවයි. මියගිය අලියා බැලීම සඳහා ගම්වාසීන් විශාල පිරිසක් පැමිණ සිටි අතර ඒ වන විටද අලින් කිහිප දෙනකු ගෙවත්ත පිටුපස රක්ෂිතයක සිටින අයුරු දක්නට ලැබිණි.


පසුව වනජීවී නිලධාරීන් විමර්ශන කටයුතු සිදුකර යෑමට උත්සාහ දැරීමත් සමඟ ගම්වාසීන් විසින් මාර්ග අවහිර කර වනඅලි පලවා හැර මිසක් ගමෙන් යෑමට ඉඩ නොදෙන බව කියමින් විරෝධය දක්වනු ලැබිණි.


විනාඩි 30ක පමණ කාලයක් කැබ් රථයට යෑමට ඉඩ නොදී මඟ හරස්කර සිටි ගම්මුන් වැලිකන්ද පොලිසිය මඟින් ඉවත් කරනු ලැබ වනජීවී නිලධාරීන්ට යෑමට ඉඩ සැලැස්වීය.
පොළොන්නරුව වන සත්ත්ව සහකාර ජී.එම්.බී. විජයකෝන්, එස්.ඒ. වික්‍රමරත්න යන නිලධාරීන්ගේ සහ එස්.එම්.ආර්. අධිකාරි, අයි.ජී.කේ. රණතුංග යන වන සත්ත්ව නියාමකවරුන් ඇතුළු වනජීවී නිලධාරි පිරිසක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon