බිරිය දරු ප්‍රසූතියට රෝහලේ: සැමියා පිහියෙන් ඇන මරා දමලා

  👤  3018 readers have read this article !
By mawbima 2018-04-20

දික්වැල්ල -
සිරි ලන්දගේ


පවුල් ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් දික්වැල්ල බතීගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තිදරු පියකු පෙරේදා (18දා) සවස 5ට පමණ පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් දික්වැල්ල පොලිසියෙන් වාර්තා වේ.


බතීගම, දීඝවාලුකාරාම මාවතේදී මොහුට පිහියෙන් ඇන ඇති අතර පිහි පහරකා දිව යද්දී මරණකරු ලුහුබැඳ ගොස්, ඒ අසල වූ කන්දක් මත තිබෙන වත්තකදී ඝාතනය කොට ඇති බවට සැක කරන බව පොලිසිය කියයි.


බතීගම පදිංචි මියගිය අයගේ සහෝදරියක සමඟ කලින් විවාහ වී සිටි 38 හැවිරිදි සිවු දරු පියකු ඝාතනයට යොදාගත් පිහියත් සමඟ පොලිසියට භාර වූ බවද පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ මුරුක්කුමා දුරගේ ඉන්දික සඳරුවන් නමැති අයගේ මරණය පිළිබඳ මූලික පරීක්ෂණය මාතර වැඩබලන මහෙස්ත්‍රාත් හර්ලි ජයවීර මහතා විසින් පෙරේදා (18දා) රාත්‍රියේදීම පවත්වනු ලැබිණි.


ඇසින් දුටු අයකු හෝ වෙනත් අයකු ප්‍රකාශයක් දීමට මේ දක්වා ඉදිරිපත් වී නොමැති බව පොලිසිය පවසයි.


එසේම පොලිසියට භාර වූ සැකකරු මීට පෙර මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චූදිතයා වී අධිකරණ ක්‍රියාමාර්ගයකින් නිදහස් වූ අයකු බවද පොලිසිය කියයි.
මියගිය අයගේ බිරිය සිවු වැනි දරු ප්‍රසූතිය සඳහා මේ වනවිටත් මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.


සැකකරුටද ගැටුමේදී තුවාල සිදුව තිබූ බැවින් ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මාතර රෝහලට ඇතුළත් කර ඇති බව පවසන පොලිසිය ඔහු ඊයේ (19දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජී.එච්. මාරපන මහතාගේ උපදෙස් පරිදි මාතර 01 සහකාර පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ මහතාගේ අධීක්ෂණයෙන් දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගයන්ත කරවිට, පොලිස් සැරයන් ශාන්ත (55828), රවීන්ද්‍ර (17464), පොලිස් කොස්තාපල් කුමාරසිරි (59776), අමරබන්දු (35577), ධම්මික (4051) යන නිලධාරීහු වැඩිදුර විමර්ශන කරති.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon