මිනිස් ඝාතනයක් නොව සියදිවි නසා ගැනීමක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි

  👤  3103 readers have read this article !
By mawbima 2018-04-20

අනුරාධපුර - මහේෂ් විජේසූරිය


ගෙල වැලලාගෙන සියදිවි නසාගත් බව කියන විවාහක සිවුදරු පියකුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු නොකර මිහිදන් කිරීම නිසා සිරුර නැවත ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස මරණකරුගේ මව කළ පැමිණිල්ලකට අනුව සිරුර නැවත ගොඩගෙන ඊයේ (19දා) අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම්. කුමාර සේනානායක මහතා හමුවේ පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය මනුෂ්‍ය ඝාතනයක් නොව සියදිවි නසා ගැනීමක් බව නිගමනය කළේය.


2017 අගෝස්තු 03 වැනිදා අනුරාධපුර පැරණි පූජා නගරයේ සංඝමිත්තා මාවතේ පදිංචිව සිටි සිසිර කුමාර බණ්ඩාර (46) මහතා ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමෙන් අනතුරුව ඔහුගේ සිරුර අනුරාධපුර පෙරිමියන්කුලම පොදු සුසාන භූමියේ අගෝස්තු 05 වැනිදා මිහිදන් කෙරිණි.


සියදිවි නසාගත් බව කියන සිය දරුවාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා ගම්බිරිගස්වැව කොට්ඨාසයේ මරණ පරීක්ෂකවරයා ලවා මරණ පරීක්ෂණයක් පමණක් සිදුකර මිහිදන් කිරීම පිළිබඳව සැකයක් පවතින්නේ යැයි කියමින් පොල්ගහවෙල ගොඩවෙල පදිංචි මරණකරුගේ මව වූ එම්.ඒ. ශි්‍රයාණි මහත්මිය පොලිස්පතිවරයාට කළ ලිඛිත පැමිණිල්ලක් මත පොලිස්පතිවරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට කළ නියෝගයකට අනුව නැවත විමර්ශන සිදු කෙරිණි.


පොලිසියට ලැබුණු තොරතුරුවලට අනුව එය මනුෂ්‍ය ඝාතනයක් බව ඒත්තු යෑම නිසා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මළ සිරුර පෙරේදා (18දා) දිනයේ ගොඩගැනීමට අධිකරණයේ අවසරය ලැබිණි.


ඒ අනුව අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හර්ෂණ ධනුෂ්ක රත්නායක මහතා හා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය කුමාර සේනානායක මහතා ඉදිරියේ මාස අටකට ආසන්න කාලයක් මිහිදන් කර තිබූ සිරුර ගොඩට ගනු ලැබීය. පසුව එය ආරක්ෂා සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශාරීරාගාරය වෙත රැගෙන ගිය අතර ඊයේ (19දා) විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.


සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව සිවුදරු පියාගේ මරණයට හේතුව ගෙල වැලලාගෙන දිවි නසා ගැනීමක් බවත් එය මනුෂ්‍ය ඝාතනයක් නොවන බවත් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා නිගමනය කළේය. පශ්චාත් මරණ පරීක්ෂණ වර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිරුර නැවත මිහිදන් කිරීමට අධිකරණ නියෝග ලබාගන්නා බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පැවැසුවේය.


මරණකරු අනුරාධපුර රුවන්මැලි සෑය ඉදිරිපිට රස කැවිලි වෙළෙ¼දාමේ නිරත වූ අතර ඔහු බිරිය සමඟ දිනපතා අඬදබර සිදුකරගත් පුද්ගලයකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon