දෙමළ විමුක්ති සන්ධානයේ සහාය ශ්‍රී ලනිපයට

  👤  2984 readers have read this article !
By mawbima 2018-04-20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ


දෙමළ ජාතික සන්ධානයට එරෙහිව පිහිටුවා ගන්නා ලද දෙමළ ජාතික ජනතා විමුක්ති සන්ධානය උතුරු පළාතේ පළාත් පාලන ආයතනවලට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ට සහාය දැක්වීමට තීරණය කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා විසින් ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා සමඟ එක්වී මෙම සන්ධානය පිහිටුවා ගන්නා ලද්දේ පසුගිය පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහාය.


පළාත් පාලන මැතිවරණයේදී එම සන්ධානය නියෝජනය කොට ජයග්‍රහණය කළ අම්පාර පොතුවිල් ප්‍රදේශවල සභිකයන්ට දෙමළ ජනතා විමුක්ති සන්ධානයේ නායකයන් විශේෂ දැනුම් දීමක් කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය ලබා දෙන ලෙසයි.
ඊ.පී.ඩී.පී සංවිධානය පක්ෂයක් වශයෙන් දේශපාලන කටයුතුවලදී පමණක් දෙමළ ජාතික සන්ධානයට සහාය දැක්වීමට තීරණය කිරීමත් සමඟම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ සන්ධානය මෙම තීරණය ගෙන තිබේ.


යාපනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසා ඇත්තේ යළිත් කිසිම අවස්ථාවක දෙමළ ජාතික සන්ධානය සමඟ එක්වීමට බලාපොරොත්තුවක් නොමැති බවත් සෙසු දේශපාලන පක්ෂ සමඟ ඉතා සුහදව කටයුතු කරමින් තම සන්ධානය දෙමළ ජාතික සන්ධානයට විශාල අභියෝගයක් එල්ල කරන බවයි.


උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා සමඟ එක්ව දේශපාලන තීන්දුවක් ගන්නා බව පවසන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රධාන අමාත්‍යවරයා විදේශ සංචාරය අවසන් කර මෙරටට පැමිණි පසුව මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවද ප්‍රකාශ කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon