ගාල්ලේ වීරයෙක් හලාවත මුහුදේ ගිලෙන්න ගිය 5ක් බේරාගෙන

  👤  3065 readers have read this article !
By mawbima 2018-04-20

හලාවත - ප්‍රසාද් පූර්ණමල්

හලාවත මුහුදේ ගිලෙමින් සිටි කුඩා දරුවකු ඇතුළු පස් දෙනකු බේරා ගැනීමට ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු සමත් වී ඇත. මේ වික්‍රමය සිදුකර ඇත්තේ ගාල්ලේ කෝන්ගහ හන්දිය ප්‍රදේශයේ පදිංචි තුවාන් මිහිරාජ් නමැති (42) අයෙකි.

හලාවත පොලිසිය විසින් සංවිධානය කරන ලදුව හලාවත මුහුදු වෙරළේ පැවැති සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට අනුග්‍රහය ලබාදීම සඳහා ආයතනය නියෝජනය කරමින් තුවාන් මහතා ඊයේ (19දා) හලාවතට පැමිණ සිටියේය.


මුහුදේ ගිය කණ්ඩායම පොළොන්නරුවේ සිට පැමිණි පිරිසක් වන අතර මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් සිටින අතරවාරේ පැමිණි රළ පහරකට අසුව කුඩා දරුවකුගේ සෙරෙප්පුවක් මුහුදට ගසා ගෙන යෑමත් සමඟ සෙරෙප්පුව ගැනීමට ගිය කුඩා දරුවා මුහුදට ගසාගෙන ගොස් ඇත.
දරුවා මුහුදට ගසාගෙන යෑමත් සමඟ ප්‍රථමයෙන් පියාද මවද මුහුදට බැස ඇති අතර ඔවුන්ද රළ පහරින් ගසාගෙන ගොස් තිබේ. පසුව අනෙක් පිරිසද මේ පුද්ගලයන් බේරා ගැනීමට යෑමේදී මෙම අනතුරට ලක්ව ඇත.


මේ සිද්ධිය දුටු වහාම ක්‍රියාත්මක වූ තුවාන් මිහිරාජ් මහතා මුහුදට පැන එකී පිරිස බේරාගෙන තිබේ. මෙහිදී තමන්ට තම මිතුරා වන මොහාමඩ් රිෂාන් මහතාගේද සහාය ලැබුණු බව තුවාන් මහතා පැවැසීය.


මේ සිදුවීමෙන් පසු හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් පරිදි හලාවත පොලිසියේ නිලධාරීන් පිරිසක් මුහුදු වෙරළේ ආරක්ෂාවට යොදවා තිබිණි.


මේ දිනවල මුහුද ඉතා රළු වන අතර මෙහි දිය නෑමෙන් හා අනවශ්‍ය ලෙස විනෝද වීමෙන් වළකින ලෙස දැක්වෙන දැන්වීම් පුවරු පවා යොදා තිබියදී වෙනත් ප්‍රදේශවලින් මෙහි පැමිණෙන ජනතාව මුහුදට බැසීම හේතුවෙන් මෙසේ අනතුරුවලට ලක් වන බව කියති. සෑම වර්ෂයකදීම මේ ස්ථානයේ සැලකිය යුතු පිරිසක් මුහුදට බිලිවී ඇති බව ප්‍රදේශවාසීහු කියති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon