යාලේ සද්දන්තයා වෙඩි තබා මරා දමයි

  👤  3058 readers have read this article !
By mawbima 2018-04-20

යාල ජාතික වනෝද්‍යානය තුළ සිටි "මිස්සක" නමින් හැඳින්වුණු සද්දන්ත ඇතා කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා මරා දමා තිබේ.


යාල ඔන්ඩච්චිය වැව ප්‍රදේශයේ ගැවසුණු වැඩුණු දළ යුගලක් සහිත දැකුම්කලු හස්තියකු වූ මිස්සක වෙඩි තබා මරා දමා ඇත්තේ දළ ලබා ගැනීමේ අරමුණින් විය හැකි බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.


වෙඩි වැදීමෙන් පසු දින දෙකක පමණ කාලයක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ඇතාට වනජීවී පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබාදී ඇතත් මිස්සක ඇතා ඊයේ (19දා) දහවල් මිය ගොස් ඇත.


මිස්සකගේ ජීවිතය බේරා ගැනීම සඳහා ආනන්ද ධර්මකීර්ති සහ මාලක අබේවර්ධන යන වනජීවී පශු වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් දැරූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


මිස්සක ඇතාගේ ජීවිතය බේරා ගැනීමට යාල ජාතික උද්‍යාන භාරකරු ප්‍රදීප් සියාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් දැඩි වෙහෙසක් දැරූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.


ඇතාගේ මරණය පිළිබඳව තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් මිස්සකට වෙඩි තැබූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා "මව්බිම"ට ඊයේ (19දා) පැවැසීය.
ඇතාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලද්දේ ජේ‍යෂ්ඨ වනජීවී පශු වෛද්‍ය ආනන්ද ධර්ම කීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon