නොඑන ගමන ගිය මොරටු විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු සිසුවා

  👤  3710 readers have read this article !
By mawbima 2018-04-23

තව ටික කලකින් අම්මව රැකියාවට යන කරදරයෙන් මම නිදහස් කර ගන්නවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන නංගිටත් උගන්වගෙන අපට හොඳට ජීවත් විය හැකි යැයි පුතා කිව්වා යැයි පසුගිය 20දා කිතුල්ගල ප්‍රදේශයේ ජල ක්‍රීඩාවකට ගොස් සිටියදී එහිදී මියගිය කනිෂ්ක ඩිල්ශාන් වීරකෝන් (23) නමැති තරුණයාගේ මරණය සම්බන්ධයෙන් මියගිය තරුණයාගේ මව එස්.ඩී. පුෂ්පමාලි මහත්මිය වාවාගත නොහැකි ශෝකයෙන් ප්‍රකාශ කළාය.


මියගිය කනිෂ්ක ඩිල්ෂාන් අංක 160, කටුවැල්ලේගම, මීගමුව යන ලිපිනයෙහි පදිංචි අයෙකි. ඔහුගේ පියා රොයිචාර්ලස් වීරකෝන් (55) කලින් පොලිස් සේවයේ යෙදී සිටි නිලධාරි මහතෙකි. මව එස්.ඩී. පුෂ්පමාලි මහත්මිය (52) වතුපිටිවල රෝහලේ කාර්ය මණ්ඩලයේ නිලධාරිනියකි. ලක්‍ෂ්මී වීරකෝන් නැඟණිය ගම්පහ යශෝධරා දේවි බාලිකා විද්‍යාලයේ 7 වසර ඉංගී්‍රසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරයි.


මියගිය ඩිල්ෂාන් මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් සමර්ථව ගම්පහ බණ්ඩාරනායක ජාතික පාසලට ඇතුළත් වී ඇත. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් ලබා එම විද්‍යාලයෙන්ම උසස් පෙළ ගණිත අංශයෙන් ඒ සාමාර්ථ 3ක් ලබා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තුන්වැනි තැනට තේරී මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිටි ඔහු මේ ඛේදවාචකය සිදුවන විට ඉන්ජිනේරු අංශයේ තුන්වැනි වසරේ සිසුවකු විය.


පසුගිය 20දා අලුයම 5.15ට පමණ පියා විසින් ත්‍රීවීලරයෙන් ඩිල්ශාන් පුතාව කටුවැල්ලේගම හන්දියට බස්සවා ඇත. නිවෙසෙන් පිටව යෑමට පෙර මවගේ සහ පියාගේ දෙපා වැඳ තිබුණි. බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට හඳුන්කූරු පත්තු කර මල් පූජා කිරීම මොහුගේ සිරිතක් වූ බැවින් එයද ඉටුකර ඇත. නිදාගෙන සිටි එකම නැඟණියගේද මුහුණ සිප එදින ඩිල්ශාන් ගෙදරින් පිටත්වූයේ නැවත නිවෙසට කවදාවත් නොඑන ගමනකට බව නොසිතා විය හැකිය.


දහසකුත් එකක් සිතුවිලි පොදිබැඳගෙන සිටි ඩිල්ශාන්ගේ මවගෙන් තම මියගිය පුතු ගැන අදහසක් ඇසීමට උත්සාහ කළ විට ඇය හඬමින් පැවැසුවේ දැන් ඉතින් පුතා ගැන මොනවා කියන්නද මගේ පුතා දැන් මට නැත්තටම නැති වුණා. දෙවියනේ බුදුනේ ඇයි අපට මෙහෙම දෙයක් වුණේ කියාය.


මොරටුව ඉන්ජිනේරු පීඨයේ සිසුන් පෙර සූදානම් කර ගත් පරිදි 20දා ජල ක්‍රීඩාවෙහි යෙදීමට 13 දෙනකු ගොස් ඇත. එක් කණ්ඩායමක් හය දෙනකු ලෙස 'ඩිංගි' බෝට්ටුවක නැඟී ඇත. ඩිල්ශාන් ඇතුළු 7 දෙනකු තවත් 'ඩිංගි' බෝට්ටුවක නැඟ තිබේ. මෙම ජල ක්‍රීඩාව දුෂ්කර මෙන්ම බාධක හමුවේ සිදුවන්නකි. ආරක්‍ෂක පටි හා ආරක්‍ෂිත ඇඳුම් පැලඳගෙන ක්‍රීඩාව අරඹා ඇති නමුත් නොසිතූ ලෙස බෝට්ටුව පෙරැළී ඩිල්ශාන් අනතුරෙන් මියගිය බව කියයි. ඩිල්ශාන්ට විශාල වශයෙන් වතුර පෙවී ඇති බවත් එම වතුර මූලික ප්‍රථමාධාරයේදී සිරුරෙන් ඉවත් කළේ නම් මෙම මරණය වළක්වා ගැනීමට තිබූ බවද සමහරු කියති.


මොරටුව විශ්වවිද්‍යාලයේ බෝඩිමේ නවාතැන් ගෙන සිට සිකුරාදා දිනයේ නිවෙසට පැමිණෙන ඩිල්ශාන් තමන්ගේ රෙදි මවට සේදීමට නොදී ඔහු විසින්ම සෝදා ගනු ලබන බව කියැවේ.


මව සහ පියාට කරදර නොකර මහපොළ ශිෂ්‍යත්ව අරමුදලින් ලැබෙන දීමනාව තුළින්ම තම අවශ්‍ය වුවමනාවන් පිරිමසා ගැනීමට උත්සාහ ගන්නා මොහු විශ්වවිද්‍යාලයේ තම පීඨයේ ඉගෙනුම ලබන තම සහෝදර ශිෂ්‍යයන්ට ඉගෙනීමේ කටයුතුවලදී නොදන්නා දේ කියාදී කණ්ඩායමක් ලෙස නායකත්වය දරා ඇතැයි පැවැසෙයි.
කුහුඹුවකුගේ ජීවිතයේ පවා වටිනාකමක් තිබෙන බව ඩිල්ශාන් කියන බව ඔහුගේ මිත්‍රයෝ පවසති.


මෙදින ජල ක්‍රීඩාවට සහභාගිවීමට අවශ්‍ය මුදල් ඔහු සොයාගෙන ඇත්තේ බුලත්දීමට ඥාතීන් වෙත ගිය පසු ලැබුණු මුදල් එකතු කර ගැනීමෙන්ය.


දැනට ඔවුන් පදිංචි නිවෙස සම්පූර්ණයෙන් සාදා නැත. එය ගොඩනැඟෙමින් පවතින නිවෙසකි. එය ඩිල්ශාන්ගේ දැනීම මත අඩු වියදමින් ඉදිකරමින් සිට ඇත. අම්මා, තාත්තා හා තම එකම නැඟණියට සුරසැප දීමට නොව යහපත් ජීවිතයක් ලබාදීමට ඩිල්ශාන් බලාපොරොත්තු වූයේ විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසු ලැබෙන ඉන්ජිනේරු රැකියාව මූලික කරගෙනය.
21 වැනිදා කටුවැල්ලේගම තරුණ දූපුතුන්ද, විශේෂයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද එම නිවෙසට පැමිණ තම සහෝදර ඩිල්ශාන්ගේ දේහය නිවෙසට ගෙන එනතෙක්ම අවමංගල්‍ය කටයුතු සූදානම් කරන අයුරු දැක ගැනීමට පුළුවන් විය.
මීගමුව -
නිමන්ති ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon