කිතුල්ගලදී මියගිය කනිෂ්කගේ මරණ පරීක්‍ෂණය

  👤  3434 readers have read this article !
By mawbima 2018-04-23

'හදිසි අනතුරක් සිදුවෙන්න යනවා නම් රාෆ්ටින් බෝට්ටුවේ ආරක්‍ෂිත කඹය අල්ලාගෙන බෝට්ටුව ඇතුළට නැමෙන්න කියලා බෝට්ටුව පැදපු අයියා බෝට්ටුවට නඟින්න ඉස්සෙල්ලා අපිට උපදෙස් ලබා දුන්නා. ඉන් පසු අපි බෝට්ටුවට හත්දෙනෙක් නැඟලා ටික දුරක් පහළට එනකොට ගල් දෙකක් මැදින් ගඟ ගලා බසින ස්ථානයක බෝට්ටුවේ දකුණු පැත්ත ගලේ වැදුණා.

ඒ එක්කම බෝට්ටුව සැඩ පහරට හසුවෙලා යට ගියා. ඒ එක්කම චානක හා ඩිල්ෂාන් පහළට ගහගෙන ගියා. එතකොට බෝට්ටුව පැදවූ අයියා කිව්වා එක්කෙනෙක් බෝට්ටුවේ හිරවෙලා කියලා. පස්සේ මායි කෝසලයි බෝට්ටුවේ හිරවෙලා ඉන්න මියගිය කනිෂ්කව ඇද්දා. නමුත් ආවේ නැහැ. ඒ වෙලාවේ ගඟ සැඩ පහර වැඩි නිසා මාවත් ගඟේ පහළට ගහගෙන ගියා.

මම ගලක් අල්ලාගෙන ඒ ගල උඩට නැග්ගා' යැයි කැලණි ගඟේ කිතුල්ගල, යටිබේරිය ප්‍රදේශයේදී රාෆ්ටින් බෝට්ටුවක් පෙරළීමෙන් ජීවිතක්‍ෂයට පත්වූ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ අංක 16, කටුවැල්ලේගම, මීගමුව ලිපිනයේ පදිංචිව සිටි දුල්වලදේවගේ කනිෂ්ක වීරකෝන් (23) නමැති අයගේ මරණ පරීක්‍ෂණයේදී මියගිය අයගේ මිතුරකු වන අංක 151/1, මාබොදලවත්ත, වේයන්ගොඩ ලිපිනයේ පදිංචි තිසර කවින්ද්‍ර ජයසිංහ යන අය සාක්‍ෂි දෙමින් පැවැසීය.
මරණ පරීක්‍ෂණය කිතුල්ගල පළාතේ හදිසි මරණ පරීක්‍ෂක ඩී.කේ. සෝමසිරි ජයලත් මහතා විසින් මෙහෙයවන ලදී.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් තිසර කවින්ද්‍ර ජයසිංහ යන අය පැවැසුවේ 'අපි මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබනවා. අපි කට්ටිය බෝඩිමේ හිටියේ එකට. එහෙම ඉන්න කොට අපි කතාකර ගත්තා කිතුල්ගල ප්‍රදේශයේ කැලණි ගඟේ රාෆ්ටින් බෝට්ටු පදින්න යමු කියලා. එහෙම කතා කරගෙන ගෙවල්වලටත් දන්වලා 20 වැනි දින අපි දහතුන් දෙනෙක් උදේ හයට විතර කොළඹින් නාවලපිටිය බස් රථයක නැඟලා කිතුල්ගලට ආවා. ඊට පස්සේ අපි කට්ටිය බෝට්ටු අයිති ආයතනයක අය සමඟ කැලණි ගඟේ බෝට්ටු පදින ස්ථානයට ගියා. එහිදී අපිට ආරක්‍ෂිත කබායන් හා ආරක්‍ෂිත හිස් වැසුම් දුන්නා. අපි නිසියාකාරව ඒවා පැලඳ සිටිනවාද කියලා ඒ අයඵ පරීක්‍ෂා කළා.

බෝට්ටු පදින ආකාරය ගැනත් දැනුවත් කළා. අපේ ටීම් එකේ දහතුන් දෙනෙක් සිටින නිසා අපි බෝට්ටු දෙකකට නැඟ්ගා. එකකට හත්දෙනෙක් සහ අනෙක් එකකට හය දෙනෙක් නැග්ගා. මියගිය කනිෂ්ක ඇතුළු පිරිස අපි හත්දෙනා ගිය බෝට්ටුව තමා අනතුරට ලක්වුණේ. අනතුරෙන් පසු මියගිය කණිෂ්කට මූලික ප්‍රථමාධාර දීලා ප්‍රදේශවාසීන් විසින් ඔහුව කිතුල්ගල, තැලිගම රෝහලට ගෙන ගියා. ගිහිල්ලා ටික වේලාවකින් මට දුරකතන මාර්ගයෙන් දැන ගන්න ලැබුණා. කනිෂ්ක මියගිය බව.'


මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කරවනැල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පී.එච්.එම්.ඩී.කේ. හේරත් මහතා විසින් සිදුකළ අතර දියේ ගිලීමෙන් හුස්ම සිරවීම නිසා සිදුවූ මරණයක් බවට තීරණය කළේය.
සීතාවක - අරන්දර දිසානායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon