හක්කපටස් වෙඩිල්ලකින් සෙංගල්පඩෙයි අවුරුදු 3ක අලි පැටියෙක් මරුට

  👤  3332 readers have read this article !
By mawbima 2018-04-23

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ, මඩුකන්ද - දීපාල් බණ්ඩාර


වවුනියාව, පූවරසන්කුලම, සෙංගල්පඩෙයි ප්‍රදේශයේ කැලෑවකදී මියගොස් තිබී සොයා ගන්නා ලද වන අලි පැටියා මියගොස් ඇත්තේ 'හක්කපටස්' වෙඩිල්ලක් පිපිරීමෙන් බවට තොරතුරු හෙළිවී තිබේ.


මියගිය වන අලියා පිළිබඳ මරණ පරීක්‍ෂණය පැවැත්වූ වෛද්‍යවරුන් මේ බව සනාථ කොට ඇතැයි උතුරු පළාත භාර පශු වෛද්‍ය නිලධාරි බී. ගිරිදරන් මහතා පැවැසීය.
වල් උෟරන්ගෙන් සිය වගාවන් ආරක්‍ෂා කර ගැනීම පිණිසත්, වල් උෟරන්ගේ මස් ලබා ගැනීම පිණිසත් 'හක්කපටස්' වෙඩි ගොවීන් විසින් තැන් තැන්වල තබන බවත් ඇමක් වශයෙන් ඒවායෙහි පලතුරු බැඳීම නිසා වන අලින් ඒවා කෑමෙන් ජීවිතක්‍ෂයට පත්වන බවත් එම නිලධාරියා පැවැසීය.


උතුරු කලාපයේ වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල වල් අලි ගහනය ඉතා ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව උතුරු පළාත භාර පශු වෛද්‍ය නිලධාරි බී. ගිරිදරන් මහතා කීවේය.


මේ තත්ත්වය මත උතුරු පළාතේ වන අලි ගහනය අඩුවී ඇති බව පෙන්වා දෙන පශු වෛද්‍ය නිලධාරිවරයා 2017 වසරේදී උතුරු පළාතේ වන අලින් 11 දෙනකු මිනිසුන් විසින් හක්කපටස් පත්තු කිරීම, විදුලිය වැද්දවීම හා වස දීම හේතුවෙන් මියගොස් ඇති බවද කියා සිටියේය.


වවුනියාව, පූවරසන්කුලම, සෙංගල්පඩෙයි ප්‍රදේශයේ කැලෑවකදී හමුවූ වන අලි පැටවා වයස අවුරුදු තුනක පමණ වන අලි පැටවකු වන අතර මරණ පරීක්‍ෂණ කටයුතු 21දා සිදු කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon