විශ්වාසභංගය නිසා කාරණා දෙකක් සිදුවුණා

  👤  3289 readers have read this article !
By mawbima 2018-04-23

අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව නිසා රටේ දේශපාලනය කැලඹීමක් වුණා නේද?


විශ්වාසභංග ක්‍රියාවලියම එක්තරා ආකාරයකට ලංකාවේ දේශපාලනය එක පැත්තකින්, ව්‍යාකූල කළා. අනිත් පැත්තෙන් තිබුණු ව්‍යාකූලතාව ප්‍රකාශයට පත් කළා. ඒක පැහැදිලි කළොත් 2015 ජනවාරි 09 පිහිටුවපු ආණ්ඩුව මේ මොහොත දක්වාම බරපතළ ව්‍යාකූලතා සහ අස්ථාවරතා සහිත ආණ්ඩුවක්.


ඒකට හේතුව මොකක්ද?


නව ආණ්ඩුවක් බලයට පත්වුණාට පසුව ඕනෑම කාලයක සමාජයක් තුළ එක්තරා විදිහේ පිබිදීමක්. ඒ වගේම ආර්ථික, සමාජ, සංස්කෘතික ප්‍රතිසංස්කරණවල අලුත් බවක් පේන්න ගන්නවා. 1977 අපි අකැමැති ආණ්ඩුවක් බලයට පත්වුණත් මට මතකයි අලුත් දෙයක් වෙන්න පටන් ගත්තා. අඩුම ගාණේ එම ආණ්ඩු මුල් අවුරුදු දෙක තුළ ඔවුන්ගේ බලය පිළිබඳ කාරණයට වඩා ඔවුන් රටේ සමාජ දේශපාලන ආර්ථික ප්‍රශ්න ගැන හිතන්න ගන්නවා. ඒත් ඉතිහාසයේ පළමු වතාවට 2015 ජනවාරි 08 බලයට පත්වුණු ආණ්ඩුවට ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න හැකි වුණේ නැහැ. 2015 ජනවාරි මාසයට පෙර ඔවුන් විශාල මහන්සියක් ගත්තා බලය අත්පත් කරගන්න. දිගුකාලීන පැවැත්මක් නැති අවිධිමත් සහ ඉතාමත්ම අස්ථාවර දැඩි නොවන සංවිධාන ජාලයක් විදිහටයි ඔවුන් වැඩ කළේ. ඔවුන්ට එකම අරමුණයි තිබුණේ රාජපක්ෂ රෙජීමය පෙරළා දමා බලය අත්පත් කරගැනීමයි ඒ.
ඒ කියන්නේ බල ලෝභය පමණයි?


ඔවුන් බලය ලබා ගැනීමෙන් පසුවත් ඔවුන්ට එකම අරමුණයි තිබුණේ. එනම් ලබාගත් බලය කොහොමද ආරක්ෂා කරගන්නේ කියන එක. මේ අරමුණ තිබිය යුත්තේ මැතිවරණයක් ආසන්න වෙනකොටනේ. ආණ්ඩුව බලයට පත්වී වසර තුනක් ගියත් ලබාගත් බලය දැන් කවුරු හරි ගනීවි කියලා ඔවුන් අනියත බියකින් පෙළෙනවා. ඒ නිසා අති දැවැන්ත ව්‍යාකූලතාවක් පේනවා. විවිධ දේශපාලන කණ්ඩායම්, පක්ෂ, පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් එක්ක මේ ආණ්ඩුව පවත්වන ගනුදෙනුව වනාහී සංවර්ධනාභිමුඛ ගනුදෙනුවක් හෝ සමාජ දේශපාලනික ගනුදෙනුවක් හෝ නොවෙයි. එය හුදු ආණ්ඩුවේ බලය ආරක්ෂා කරගැනීම සම්බන්ධව පවත්වන ගනුදෙනුවක් පමණයි. ඒ නිසා ආණ්ඩුවේ බලය ආරක්ෂා කරගැනීම කියන දෛනික අරගලය ප්‍රධාන ක්‍රියාව බවට පත්වී ආණ්ඩුව රට වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා කියන කාරණය පසුපසට ගිහින් තිබෙනවා. හරි අවාසනාවන්තයි මේ ආණ්ඩුව එක අතකින්. අවිධිමත් විසිරුණු ඒකාබද්ධතාව යටතේ ආණ්ඩුවට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් හෝ ජාතික, ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියක් සකස් කරන්න බැහැ.


ඔබ කියන මේ ආණ්ඩුවේ ව්‍යාකූලතාවට පක්ෂවල අභ්‍යන්තර ගැටුම් බලපානවාද?


ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර එ.ජා.පය අභ්‍යන්තරිකව අසරණභාවයකට පත්ව සිටිනවා. ඒ එහි නායකත්වය පිළිබඳව තිබෙන බරපතළ විරෝධය සහ ඒ නිසාම ඇතිවී තිබෙන ව්‍යාකූලතාව නිසා. අනිත් පැත්තෙන් ජනාධිපති සහ අගමැති අතර තිබෙන ගැටුම. ශ්‍රීලනිපයේ පවතින ව්‍යාකූලතාවනුත් මේකට හේතු වෙනවා.
විශ්වාසභංගය යෝජනාව පැමිණෙන්නේ මේ ව්‍යාකූලතාවන් අතරයි. ශ්‍රී.ල.නි.පය මුළුමනින්ම විශ්වාසභංගයට සහාය දෙනවා යැයි ප්‍රකාශය කරමින් සිටියා. ඒ වගේම ඔවුන් පසුකාලීන අගමැතිට ඉල්ලා අස්වෙන්න කියලත් කීවා. ජ.වි.පෙ. මේ ආණ්ඩුවට උදවු කරන බවට 2015 වසරේ සිට සාමාන්‍ය ජනයාගෙන් ජ.වි.පෙට චෝදනාවක් තිබුණා. එහෙම චෝදනා ලබමින් සිටි ජ.වි.පෙ ද කිව්වා ඔවුන් විශ්වාසභංගය පක්ෂව ඡන්දය දෙනවා කිව්වා. දෙමළ සන්ධානය කිව්වේ අදාළ මොහොත දක්වා නිහඬව සිටින බවයි. නමුත් ලැබුණු තොරතුරු අනුව එහි විශාල අර්බුදයක් ඇතිවුණා පිරිසක් විශ්වාසභංගයට සහයෝගය දෙන්න එකඟවීමත් සමඟ. රවුෆ් හකීම් කීවේ මේ ආණ්ඩුව අප්පිරියයි කියලයි. මේ විදිහ අනුව විශ්වාසභංගය තිබුණේ දිනන මට්ටමකයි. ඒ වගේම ආණ්ඩුවේ සිටින අයගේම විවිධ ප්‍රකාශනවලින් පේන්න තිබුණේ ආණ්ඩුව සිටින්නේ බරපතළ ව්‍යාකූලතාවක බවයි. විශ්වාසභංග ක්‍රියාවලිය තුළ සිදුවුණේ විශ්වාසභංගය පරාජය වීමයි. සමස්ත සමාජයම විශ්වාසභංගයට ඡන්දය විමසීමට පෙර දින රාත්‍රිය දක්වා තොරතුරුමය වශයෙන් දැක්කේ විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජයට පත්වෙයි කියලයි. එහෙත් ආණ්ඩුව ජය ලැබුවා.


ජයග්‍රහණය ලැබීමත් එක්තරා විදිහකට ව්‍යාකූලතාවක් නේද?


විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙනවා යැයි ප්‍රකාශ කළ පිරිසෙන් කොටසක් ඡන්දය දීමට පැමිණියේ නැහැ. තව පිරිසක් විරුද්ධව ඡන්දය දුන්නා. ඒ වගේම ආණ්ඩුවේ නිල විපක්ෂය අගමැතිවරයා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළා. මෙහිදී පොදුජන සමාජය පාර්ලිමේන්තු සම්ප්‍රදාය කියා භාරගන්නා දේ සහ සත්‍ය වශයෙන්ම පාර්ලිමේන්තුව පවතින ආකාරයයි අතර බරපතළ පරස්පරතාවක් නිර්මාණය වුණා. එනම් සත්‍ය වශයෙන්ම පාර්ලිමේන්තුවට ජනසමාජය තුළ තිබෙන විශ්වාසය අවසන් වුණා.


ඒ නිසා මේ වන විට සමාජයේ නිර්මාණය වෙලා තියෙන්නේ බරපතළ ව්‍යාකූලතාවක්. උදාහරණයක් ගතහොත් අගමැතිට විරුද්ධයි ආණ්ඩුවේ නායකයා වන ජනාධිපති. ඒ ආණ්ඩුවේ නායකයා වන ජනාධිපතිට අගමැති කැමැති වෙන්නත් බෑනේ. පහුගිය කාලයේ වැඩ කරපු හැටියෙන් ඒ බව පෙනුණා. ඒත් ඔවුන් දෙදෙනාම එකම ආණ්ඩුවේ සිටිනවා. ඒකට හේතුවක් වෙන්නේ ඔවුන් රාජපක්ෂ භීතිකාවෙන් පෙළීම. රාජපක්ෂ පාලනයක් නැවැත බලයට පත්වෙයි කියන බිල්ලෙක් නිර්මාණය කරනවා. ඒ ආකාරයෙන්ම රාජපක්ෂ රෙජීමය විදුලි පුටුව කියන බිල්ලෙක් නිර්මාණය කළා. මේ එකම කාසියේ දෙපැත්ත. පාලකයෝ සේරම එකයි වගේ නේද? විදුලි පුටුව නිසා මොන වැරැද්ද කළත් රාජපක්ෂ පාලනය පවත්වාගෙන යන්න ඕනෑ වගේ තර්කයක් එතැන පේනවා. දැන් රාජපක්ෂලා එන නිසා මොන වැරැද්ද කළා වුණත් අනේ අපිව තියාගන්න කියන එකයි දැන් පේන්නේ.


මෙතැනදී ජනතාවගේ භූමිකාව කෙසේ විය යුතුද?


ජනයාට නව දේශපාලන සිතාගැනීමක් සඳහා මේක හොඳ අවස්ථාවක්. විශ්වාසභංගයේ පාර්ලිමේන්තු විවාදය දෙස බැලීමේදී අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අවසන් කියලා හැඟුණා. විශ්වාසභංගය ගෙනා අය චෝදනා ඉදිරිපත් කළා. අනිත් පාර්ශ්වයෙන් වියයුතු ප්‍රතිචාරය වන්නේ චෝදනාවලට නිර්දෝෂී වෙන්න කරුණු ඉදිරිපත් කිරීමයි. එහෙත් එහෙම ප්‍රතිචාර තිබුණේ නැහැ. විශ්වාසභංගයේ චූදිතයන්ගේ ප්‍රතිචාර වුණේ 'හොරා' 'මිනීමරුවෝ' යන්නයි. ඒකට චෝදිතයන්ගෙන් දුන් ප්‍රතිචාරය වුණේ 'හොරා' 'මිනීමරුවෝ' යන්නයි.

මගේ අදහස අනුව වැඩිම වාර ගණනක් භාවිත වුණු වචන වන්නේ ඒවායි. එක් අයකුවත් තමන්ට එල්ල වුණු චෝදනාවලින් නිර්දෝෂී වෙන්න උත්සාහ කළේ නැහැ. එසේ නම් අපේ රටේ පාර්ලිමේන්තුව හොරුන්ගෙන් සහ මිනීමරුවන්ගෙන් යුතු පාර්ලිමේන්තුවක්. මේ මිනීමරුවන් සහ හොරුන් පාර්ලිමේන්තුවට යැව්වේ කවුද යන්න ජනතාව සිතා බැලිය යුතුයි.

මේ විවාදය රටේ ප්‍රතිපත්ති සම්පාදනය, මූල්‍ය විනය සහ ස්ථාවරභාවය, ක්‍රම සම්පාදනය, පොදු දේපොළ අවභාවිතය හා දූෂණය කිරීම පිළිබඳව ඉතාම හොඳ විවාදයක් ගෙන යන්න තිබුණා. නමුත් එකදු පරිණත කතාවක්වත් මේ විවාදය තුළ දකින්නට ලැබුණේ නැහැ. පක්ෂවලට ප්‍රතිපත්ති තියෙනවානම් ඒ පක්ෂවලට න්‍යාය පත්‍ර තිබෙනවා නම් ඒ පක්ෂවල නියෝජිතයන් හැසිරිය යුත්තේ ඒ ආකාරයට නෙවෙයි. එනම් මේ රටේ පක්ෂ ක්‍රමයක් නැහැ කියලත් පෙන්නුම් කළා. විශ්වාසභංගයෙන් ජනතාවට හොඳ පණිවුඩ ලැබිලා තියෙන්නේ.
විශ්වාසභංගයේදී සුළු ජනවර්ග නියෝජනය කරන පක්ෂත් තීරක බලවේගයක් බවට පත්වුණා.


රටක ආණ්ඩු කිරීමේ ක්‍රියාවලියේදී ප්‍රධාන පක්ෂවලට ආණ්ඩු කිරීමට තැනක් දෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ සුළුතර ජනවර්ග මත පදනම් වුණු නායකයන්. වාර්ගික දේශපාලන පක්ෂ තීරක බලවේග බවට පත්වුණා මේ විශ්වාසභංගයේදී. මෙහි එක් ඛේදවාචයක් වන්නේ එය එම ජනවර්ගයේ අපේක්ෂාව නොවීමයි. නායකන්ගේ කොන්දේසි එකඟතා මත ඡන්දය දෙන එක තීරණය කළා. ඔවුන් අපි නොදන්නා එකඟතාවන්වලට ගිහින් තිබෙනවා. එසේ නොවේ නම් මට මේ ආණ්ඩුව අප්පිරියයි කියපු කෙනා ආණ්ඩුව ආරක්ෂා කරන්න ඡන්දේ දුන්නේ කොහොමද?


මේ පක්ෂවල එකඟතාවන් එක්කෝ පෞද්ගලික කොන්දේසි විය හැකියි, නැතිනම් දේශපාලන එකඟතා විය හැකියි. ඒ එකඟතා ජනවර්ග මත පදනම් වුණු දේශපාලන පක්ෂත් සමඟ වන එකඟතා වනාහී බොහෝදුරට වාර්ගික දේශපාලනයත්් සමඟ සම්බන්ධතා විය හැකියි. එහෙම එකඟ වුණොත් ප්‍රශ්නය බරපතළයි. ඒවා ඉටු කිරීමට යෑමේදී සමාජයේ බරපතළ අර්බුදයකට යා හැකියි.


මෙතැනින් පසුව ආණ්ඩුව යන්නේ කොතැනකටද කියන ප්‍රශ්නයත් මතු වෙලා?


මෙතැනින් පසුවත් ආණ්ඩුවට අනුගමනය කිරීමට වෙන පළමු කාර්ය වන්නේ බල රැක ගන්නේ කොහොමද කියන එකයි. එ.ජා.පයේ ප්‍රතිසංස්කරණවාදීන් කියන පිරිස දැන් ඉන්නේ නොසතුටින්. එහි ප්‍රතිසංස්කරණවාදීන් ඉල්ලා සිටින නායකත්වයේ ප්‍රතිසංස්කරණ සිදුවෙන්නේ නැහැ. එ.ජා.පයට අභ්‍යන්තරිකව එක අරගලයක් තියෙනවා. මේ ප්‍රතිසංස්කරණවාදීන් සහ ප්‍රතිසංස්කරණ අවශ්‍ය නැති පිරිස අතර සමාදානයක් ඇති කර තිබෙන විදිහටම පක්ෂය ගෙන යන්නේ කියන එක. ඒක ලේසි වැඩක් නෙවෙයි. උසාවියෙන් දික්කසාද නොවුණු එහෙත් එක ගෙදරක කාමර දෙකක නිදා ගන්න බිරියකුයි ස්වාමිපුරුෂයකුගෙයි තත්ත්වයට ආණ්ඩුව පත්වෙලා.


ඒ වගේම ශ්‍රීලනිපයේ 16 විපක්ෂයේ වාඩි වෙන්න කැමැතියි කියනවා. මේ වෙලාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන බැසිල් රාජපක්ෂ කියනවා අපි ලෑස්තියි ඒ 16 භාර ගන්න කියලා. ශ්‍රිලනිපය බරපතළ ව්‍යාකූලතාවකට පත්වෙලා මේ වෙලාවේ. විශ්වාසභංගයට පෙරත් විශ්වාසභංගය තුළත්, විශ්වාසභංගයට පසුත් රට අර්බුදයකට ගිහින්.
අර්බුදයක් නැති අවස්ථාවක් ජනතාවට ලැබෙයිද?


දේශපාලනික වශයෙන් සාමකාමී සංහිඳියා මොහොතක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එකයි රට හමුවේ තියෙන දැවෙන ප්‍රශ්නය වන්නේ මේ මොහොතේ. සියලුම දෙනා උත්සාහ කරන්නේ තියෙන බලය රැක ගැනීමටයි. මේ මොහොත නව දේශපාලන සාකච්ඡාවකට යොදා ගන්න පුළුවන්. මෙවැනි ආණ්ඩුවක් රටක ගමන ඇනහිටවනවා. රටක් සක්‍රිය කරවන ආණ්ඩුවක් අවශ්‍යයි. මගේ යෝජනාව අපට දැන් ජාතික සන්ධානයක් අවශ්‍යයි. පක්ෂ, ජන කණ්ඩායම් ඒකාබද්ධ කරගෙන යන සන්ධානයක් අවශ්‍යයි. එහි අරමුණ විය යුත්තේ හෙට බලය ලබා ගැනීම නෙවෙයි.


මේ ජාතික සන්ධානය පිළිබඳ ඔබට අදහසක් ඇති.


මගේ තක්සේරුව අනුව ඊළඟ මැතිවරණයේ ජය ලැබීමේ විභවතාව තියෙන්නේ පොදුජන පෙරමුණයි. මේ පිරිස ඇවිත් පරණ වැඩේම කරන්න හදනවානම් අපි ආණ්ඩුවක් හැදීමේ කිසිම තේරුමක් නැහැ. අපි හදන්න ඕනේ බලය ලබාගත් ආණ්ඩුව රාජ්‍යයේ සියලු අංශ කෙරෙහි තමන්ගේ බලහත්කාරය පතුරුවන තැනක්, එනම් 'රෙජීමයක්' නෙවෙයි. ආණ්ඩුවක් කියන්නේ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ ආයතනවලට පැවැත්මක් දෙන එකක්. රෙජීමයකට වඩා ආණ්ඩුව ප්‍රජාතාන්ත්‍රියයි.


හැබැයි මේක නැවත රෙජීමයක් වෙන්න දෙන්න බැහැ. රෙජීමයක් නොවෙන්න නම් අනිත් අය සන්ධාන ගතකරන්න පුළුවන් හැකියාවක් පොදුජන පෙරමුණට තිබිය යුතුයි. ඒක සමහරවිට සිංහල බෞද්ධ දේශපාලනය ගැන පමණක් කතා කරන නායකයන්ට ඉවසන්න බැරි එකක් වෙන්න පුළුවන්. මහින්දලා, මෛත්‍රිලා, බැසිල්ලා, අනුර කුමාරලා, සම්බන්දලා, ඉමිතියාස්ලා, කුමාර් ගුණරත්නම්ලා, තිස්ස, ඩිව්, වාසු වැනි අය විධිමත් වැඩපිළිවෙළක් යටතේ එකතු කරන ජාතික සන්ධානයක් රටට අවශ්‍යයි. ඒක එජාපය විසින් පරාජය කළොත් එ.ජා.පය, ආණ්ඩු කරයි, සන්ධානය විසින් එජාපය පරාජය කළොත් සන්ධානය ආණ්ඩු කරයි. හැබැයි රටට ආණ්ඩුවක් ලැබෙනවා. ඒත් මේ ජාතික සන්ධානය හදා ගැනීම ලෙහෙසි හෝ සරල නැහැ, ඒත් සරල බේතක් නැහැ දැන් අපට. මේ ජාතික සන්ධානයකදී යූඑන්පී එකත් අනිත් කණ්ඩායමත් වෙනස් වේවි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon