සිරකරුවෝ මනුෂ්‍යයෝය

  👤  3394 readers have read this article !
By mawbima 2018-04-23

2018.04.01 වැනි දින 'මව්බිම' පුවත්පතෙහි පළවූ "මරණ දඬුවම දුන් අයට සමාව දීම ලේසි නෑ" යන ලිපිය සහ 2018.04.02 වැනි දින 'මව්බිම' පුවත්පතේ පළවූ 'දේශපාලන සිරකරුවන් පොදු සමාව යටතේ නිදහස් කිරීම ගැටලුවක් නැතැ'යි යන ලිපියත් මෑතකදී තම බිරියගේ මළ ගෙදරට සහභාගි වූ දෙමළ ජීවිතාන්ත සිරකරුවකුට පොදු සමාවක් ඉල්ලා ඇති විස්තරාත්මක ලිපියත් සිරකරුවකු වූ මගේ අවධානයට ලක්වීම මත අතිගරු ජනාධිපති ගරු අගමැතිතුමන්ගේ විශේෂ අවධානයට මෙම ලිපිය ඉදිරිපත් කරමි.


"සිරකරුවෝත් මනුෂ්‍යයෝය". යන පාඨය බන්ධනාගාර තාප්පවල ඉතා පැහැදිලිව ලියා ඇතත්, මනුෂ්‍යත්වයේ නාමයෙන් සිරුකරුවන්ට සහනයක්, නිසි ලෙස ලැබෙනවා යන්න අදාළ බලධාරීන් දැනුවත් වී තිබේද යන්න සිරුකරුවන්ට ඇති විශාලතම ප්‍රශ්නයක් වී ඇත.


අධිකරණයකින් දඬුවමක් නියම කළ පසු එම චූදිතයා බන්ධනාගාරය තුළ ආරක්‍ෂිතව රඳවා තබාගෙන කාල පරාසයක් පුනරුත්ථාපනය කර මුදා හැරීම බන්ධනාගාරය සතු වගකීම වනු ඇත. 2008 වසරෙන් පසු මේ දක්වා ගතවූ වසර 10 තුළ මෙම පිරිසට කිසිදු සමාවක් ප්‍රදානය නොකරන ලද අතර වයස්ගතව ලෙඩ රෝගවලට ගොදුරුවූ 40ක් පමණ සිරකරුවන් මියගොස් ඇත.


කරුණු මෙසේ වුවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ අවස්ථා 4කදී ජීවිතාන්ත සිරකරුවන් විශේෂ වූ පිරිස් සඳහා ජනාධිපති පොදු සමාව ප්‍රදානය කර ඇත.
වයස්ගත වූ සිරකරුවන් වසර 10ක කාලයක් සිරගෙදර දඬුවම් කාලයක් ගෙවන විට බොහෝ දෙනකු මියයනු ඇත. නිසි පහසුකම්, අසනීප රෝග තත්ත්වයන් මත සහ තම දූ දරුවන්ගෙන් අෑත්ව ඉතා අසරණ තත්ත්වයක සිටින මෙම පිරිසට කිසිදු මානසික සහනයක් නොමැත.


මේ මත අතිගරු ජනාධිපති උතුමාණන් වෙත මෙම ජනාධිපති සමාවේ කොන්දේසි ලිහිල් කර ගැනීම සඳහා අභියාචනා ගණනාවක් ඉදිරිපත් කිරීමට සිත් විය.


වයස සීමාව 70, අවු: 60 හෝ 65 දක්වා අඩුකර ගැනීම, වසර 10ක සිර දඬුවම් කාලය අවු: 5ක් දක්වා අඩුකර ගැනීම, සියලු දඬුවම් ශේෂය එකතුව අහෝසි කර ගැනීම යනාදී කරුණු පිළිබඳ අවධානය යොමුවන්නේ නම් මැනවි. ජාත්‍යන්තර වැඩිහිටි දිනය යෙදෙන ඔක්තෝබර් 01 වැනිදා ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් වෙනුවෙන් නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක වන නමුත් සිරගෙදර මෙවැනි වැඩිහිටි සුළු පිරිසක් සිටින බවට ශ්‍රී ලංකා වාසී කිසිවකුටත් මතක් නොවේ. සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට හෝ මේ පිරිස ගැන කිසිදු අවබෝධයක් නැති බව මගේ විශ්වාසයයි.


උපරිම මානසික වේදනා දුක් මත ජීවත්වන සිරගෙදර සිටින සුළු ජේ‍යෂ්ඨ පුරවැසියන්ට සියලු දෙනාගේ අනුකම්පාව මත උපරිම සහනයක් ලබාදේවි යැයි සිතමි.
නුගේගොඩ
- සුරේෂ් පතිරණ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon