මැයි දිනට දෙන බොරු පොරොන්දු

  👤  3223 readers have read this article !
By mawbima 2018-04-23

මේ ආණ්ඩුව බලයට ආවේ රාජ්‍ය අංශයේ සේවක වැටුප රු. 10,000කින් හා පෞද්ගලික අංශයේ සේවක වැටුප රු. 2,500කින් වැඩි කරන බව පවසාය. ඉන් ඉටු වූයේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම පමණි. නමුත් පෞද්ගලික අංශයේ බොහෝ සේවකයනට එය තවමත් පොරොන්දුවක් පමණි. 2016 වසරේ අය _ වැය සහන දීමනා පනත මඟින් රු. 40,500 අඩු වැටුපක් ලබන පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප 2015 වසරේ රු. 1,500කින් හා 2016 වසරේ රු. 1,000කින් වැඩි කරන බව ඒ පනත මඟින් ප්‍රකාශ කර තිබුණු අතර ඇමැතිවරයා ජනමාධ්‍යට පවසා තිබුණේ එසේ නොකරන ආයතනවලට නඩු පැවැරීමට කම්කරු කොමසාරිස්වරයාට නියෝග කර ඇති බවයි.

අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබුණේ ඇතැම් ආයතන සේවකයන්ට ලබාදෙන වැටුප් වර්ධකය මෙයට ගළපා ඇති බවකි. මෙහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ වැටුප් වර්ධක හා වැටුප් වැඩිවීම් කියන්නේ කාරණා දෙකක් බවත් වාර්ෂිකව හිමිවන වැටුප් වර්ධක කොහොමත් ගෙවිය යුතු බවයි. මේ බව පනතේ පැහැදිලිව සඳහන් කර තිබෙන බවයි. මෙම මාධ්‍ය වාර්තා කම්කරු කාර්යාලයේම දැන්වීම් පුවරුවල අලවා තිබිණි. නමුත් අද වනවිට කනගාටුවෙන් වුවත් කිව යුත්තේ මේ නියෝග මාධ්‍ය වාර්තාවලට සීමා වන කරුණක් බවයි. ඇමැතිතුමනි කම්කරුවාට දෙන පොරොන්දු මැයි දින සිහින පමණක්ද?


සේවයේ යෙදෙන ගමන් හාම්පුතාට විරුද්ධව කරන පැමිණිලි සියතින් ගෙල සිඳගැනීමක් බව කම්කරුවන් හොඳින් දනී. ඒ නිසා බොහෝ සේවකයෝ නිහඬව සිටිති. 2016 වසරේ කළ පැමිණිලි ප්‍රමාද වූයේ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීම් හා පිකටින් නිසාය. නමුත් අද දැන ගැනීමට ලැබෙන්නේ අය _ වැය සහන අංශයේ පුහුණු නිලධාරීන්ද විශ්‍රාම ගොස් ඇති බවකි. මේ මැයි දිනයේ පටන්වත් වසරකට වඩා පැරැණි කම්කරු පැමිණිලිවලට කඩිනමින් විසඳීමට පියවර ගන්න. එසේ නොවුණොත් කම්කරුවාට මැයි දිනයට සිදුවන්නේ කම්කරු කාර්යාලය ඉදිරිපිට පෙළපාළි යෑමටය.
යටිනුවර _ මහේන්ද්‍ර රන්දෙණිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon