මහියංගණයේ පාළු නිවෙසක කාන්තා මළ සිරුරු දෙකක්

  👤  3371 readers have read this article !
By mawbima 2018-04-23

මහියංගණය - රංජිත් කරුණාවීර


මහියංගණ, කෙසෙල්පොත උතුර, වරාපිටිය ගම්මානයේ හුදකලා නිවෙසක ඝාතනය කරන ලද කාන්තා මළසිරුරු දෙකක් 20 දින රාත්‍රි 11.30ට පමණ සොයාගත් බව මහියංගණ පොලිසිය පවසයි.


මෙලෙස ඝාතනය කර ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ හීං මැණිකා නම් 58 වියැති සිවු දරු මවක් හා ඇයගේ එක් දියණියක් වන ඩබ්ලිව්. එම්. රේණුකා නම් වයස 40ක දෙදරු මවකි.


මළසිරුරු හමුවූ නිවෙස වරාපිටිය ගම්මානයේ කිලෝමීටර් 2ක සීමාව තුළ පිහිටි හුදකලා වූ නිවෙසකි. මවගේ අනියම් සැමියා හා දියණියගේ අනියම් සැමියාද මේ නිවෙසේ එකට වාසය කළ බවට ගම්වාසීහු පවසති. මවගේ නීත්‍යනුකූල සැමියා මියගොස් ඇත. දියණිය නීත්‍යනුකූල සැමියාගෙන් වෙන්ව මව සමඟ නිවෙසේ එකට වාසය කර ඇත. මියගිය මවගේ අනියම් සැමියා දරුවකු හට දුරකතන ඇමතුමක් ලබාදී 19 දින රාත්‍රියේ පිරිසක් පැමිණ මවට හා දියණියටද පොලුවලින් පහරදුන් බවත් ඔහු බියෙන් කැලයට දිවගිය බවත් පසුව පැමිණ බලන විටදී දෙදෙනාම නිවෙසේ බිම ඇද වැටී සිටි බවත් පවසා ඇත. එම දුරකතන ඇමතුම ලබාදෙමින් 20 වැනි දින ඔහු පවසා ඇත්තේ පුතුට නිවෙසට ගොස් පරීක්ෂා කරන ලෙසටයි.


ඒ අනුව පුතු විසින් සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිසියට පැමිණිලි කර පොලිසිය සමඟ 20 දින රාත්‍රි 11.30ට නිවෙස පරීක්ෂා කිරීමේදී මේ කාන්තා මළසිරුරු හමුවී ඇත.
දුරකතන ඇමතුම ලබාදුන් බව කියන මියගිය මවගේ අනියම් සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර පොලිස් කණ්ඩායම් දෙකක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරති.
මේ මරණවලට හේතුව ඉඩම් ආරවුලක්ද, අනියම් ඇසුරක්ද යන්න පිළිබඳ තොරතුරු විමර්ශනය කෙරේ.


මහියංගණ සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාගේ උපදෙස් මත මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විජේසේකර, නියෝජ්‍ය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් වීරකෝන් යටතේ උ.පො.ප. සේනාරත්න බණ්ඩා, පො. කො. තිලක් (19991), රත්නායක (4205) සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනු ලබන අතර, දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරි පොලිස් පරීක්ෂක අතුල ඉලංගරත්න මහතා යටතේ නිලධාරී පිරිසක් සිද්ධිය සිදු වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණ සිදු කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon