මවු රටට ගිය විදේශිකයන් සාක්කි දීමට යළි පැමිණෙන්නේ නම් වියදම් රජයෙන්

  👤  3385 readers have read this article !
By mawbima 2018-04-23

උදයන්ති මුණසිංහ


පසුගියදා මිරිස්ස ප්‍රදේශයේ හෝටලයකදී හිරිහැරයට ලක්වූ විදේශීය සංචාරකයන් ඔවුන්ගේ මවුරටට ගොස් ඇති අතර දැනට සිදු කෙරෙන පරීක්ෂණවලට සාක්ෂි ලබාදීමට ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු වියදම් දැරීමට රජය කටයුතු කරන බව සංචාරක ප්‍රවර්ධන, ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පවසයි.
පසුගියදා සංචාරක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.


මිරිස්ස ප්‍රදේශයේ හෝටලයකදී විදේශීය කාන්තාවකට ලිංගික හා ශාරීරික හිංසන සිදුකොට තවත් විදේශිකයකුට පහරදීම සම්බන්ධයෙන් දැනටමත් පොලිස් පරීක්ෂණ සිදුවන අතර ඒ පිළිබඳ දැනට සැකකරුවන් දහහතර දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් මූලික පරීක්ෂණ අවසන් වනතෙක් අදාළ හෝටලය වසා තබන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


පසුගිය අප්‍රේල් 8 වැනිදා පාන්දර මෙම සිදුවීම වී ඇති අතර සිද්ධිය පිළිබඳව කිසිදු පැමිණිල්ලක් අදාළ විදේශිකයන් මාතර හෝ වැලිගම පොලිසි වෙත සිදුකර නොමැති බවත් පසුදා (9දා) සිද්ධියට මුහුණදුන් විදේශිකයන් සමඟ සිටි වෙනත් විදේශිකයන් පිරිසක් විසින් සංචාරක පොලිසියට පැමිණිලි කර ඇති බවත් ඇමැතිවරයා පවසයි.


අදාළ පැමිණිල්ලේ සැකකරුවන් පිළිබඳව කිසිදු සඳහනක් නොතිබුණු අතර සී.සී.ටී.වී. දර්ශන සහ පරීක්ෂණවලින් අනාවරණය කරගත් කරුණු අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon