පොඩි මිනිහාට අප බෙදිය යුත්තේ ලොකු හැන්දකින්

  👤  3551 readers have read this article !
By mawbima 2018-04-23

අප ඉදිරියට යා යුත්තේ ඉල්ලන් කන්නේ නැතිව අපේ වැරැදි, අඩුපාඩු හදාගෙන යැයිද අප එක්වරක් ඉල්ලන් කෑවොත් නැවත වරක් ඉල්ලන් නොකන්නට වගබලාගත යුතු බවත් නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.


විශ්වාසභංග යෝජනාව තුළින් එජාපය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් බව පෙන්වා දෙන ඇමැතිවරයා අපේ වස්ත්‍ර ගැලවෙනතුරු බොහෝ දෙනෙක් බලා සිටි බවත්, ඔවුන් අලුත් තනතුරු ලබාගැනීමට සිහින මවමින් සිටියත් අප විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වූයේ නම් උදාගම් 2500ත් ජනතාවට නිවාස සහනත් අහිමිවන බව සඳහන් කරයි.
ද්‍රශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් තිස්සමහාරාමය, ජූල්පල්ලම ඉදිකළ 'සියනෙතුගම' 55 වැනි ආදර්ශ උදා ගම්මානය ජනතා අයිතියට පත්කීරීම නිමිත්තෙන් පැවැති ජන හමුව අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.


එහිදී වැඩිදුරටත් පැමිණ සිටි පිරිස අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවැසුවේය.


අද මගේ දේශපාලන ජීවිතයේ ඉතාම වැදගත් දිනයක්. දිවංගත මගේ ආදරණීය පියාණන් මෙරට නිවාස ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ දෘශ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රදේශයේ 'නයනාලෝකගම' නමින් උදා ගම්මානයක් ආරම්භ කළා. එය නිවාස 25කින් සමන්විතයි. එතුමා එදා ආරම්භ කළ එම ගම්මානයෙන් පසුව අද දින ජනතා අයිතියට පත් වූයේ දෙවැනි දෘශ්‍යාබාධිත උදා ගම්මානයයි. 'සියනෙතුගම' උදා ගම්මානය නව නිවාස 29කින් සමන්විතයි.


අද මෙම ගම්මානය විවෘත කරන මොහොතේ විශේෂ පුද්ගලයකුටත් මා ආරාධනා කළා. ඔහු හම්බන්තොට සිරියාගම ප්‍රදේශයේ උපත ලබා තෙලුල්ල විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, යුද හමුදාවේ ගැමුණු රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවකු ලෙස කටයුතු කර රට දැය වෙනුවෙන් තම දෙඇස් පූජා කළ ජේ. පී. ඩී. රවින්ද්‍ර රණවිරුවායි. ඔහු ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයා. ඔහු ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ලෝකයේ තුන්වැනි ස්ථානයට පත්ව තිබීම සතුටට කරුණක්. ජීවිතයේදී අප සමහර ඉලක්ක ජය ගන්නා අතර තවත් විටෙක ඇතැම් ඉලක්ක පරාජය වෙනවා. ජය හෝ පරාජය අප ඉතාම නිහතමානීව භාර ගත යුතුයි.

සමහර අවස්ථාවලදී සමහරු 'ඉල්ලන් කනවා'. පසුගියදා අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා. පළාත් පාලන මැතිවරණයේදී නව දේශපාලන බලවේගයක් යටතේ නොසිතූ පරිදි ජයග්‍රහණය ලැබූ පිරිසක් එම ජයග්‍රහණයෙන් උදම් වී බලයෙන් මත්වී විශ්වාසභංගයක් ගෙනාවා. ඔවුන් සූදානම් වුණේ කූට දේශපාලන කුමන්ත්‍රණයකින් පාර්ලිමේන්තුවේ බලයත් ලබා ගන්නටයි.

ඔවුන් එසේ සිදු කළේ රට ගැන සිතා නොව තමන් ගැන හිතලයි. නමුත් සිදු වුණේ ඔවුන්ට ඉල්ලන් කන්නටයි. විවිධ අය තට්ටු මාරු ක්‍රමයට ඉල්ලන් කනවා. මෙයින් අප සියලු දෙනාම පාඩමක් ඉගෙන ගත යුතුයි. විශ්වාසභංගයෙන් අප ලද ජයග්‍රහණය සමඟ අප කිසි විටෙක උදම් විය යුතු නැහැ. අප දිනුවා, විරුද්ධවාදීන් ඉවරයි කියා නොසිතිය යුතුයි. අප මහ පොළොවේ සිට කැටි වලාකුළුවලට නොයා යුතුයි. එසේ වුවහොත් එළැඹෙන පළාත් සභා මහ මැතිවරණය, ජනාධිපතිවරණය යන මැතිවරණවලදී අපට ඉල්ලන් කෑමට සිදුවෙනවා. එම නිසා අප සෑම විටම මහ පොළොවේ පය ගසා ජීවත් විය යුතුයි. පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරු 225 දෙනාගේම හද ගැස්ම අප හඳුනාගෙන සිටියා. එම නිසා අප මෙය ජයග්‍රහණය කළා.


විශ්වාසභංගය අප ජයග්‍රහණය කළේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරු 225 දෙනකු අතරින් පමණයි. ඔවුන්ගේ විශ්වාසය අප දිනාගත්තා. නමුත් අප මෙරට සිටින ලක්ෂ 210ක් පමණ වන ජනතාවගේ විශ්වාසය දිනා ගත යුතුයි. ආණ්ඩුවට ඉදිරියට යා හැක්කේ එවිටයි. සෑම විටම පොදු ජනතාවට ශක්තියක් විය යුතුයි. ඔවුන්ට හැකි තරම් සහන ලබාදිය යුතුයි. අප නිහතමානී විය යුතුයි. සෑම විටම රටේ පොඩි මිනිසාට ලොකුම හැන්දෙන් බෙදිය යුතුයි. සන්සුන්ව ඉදිරියට ගමන් කළ යුතුයි. ජනතාවට දැනෙන සංවර්ධන ස්වර්ණමය යුගයක් බිහි කළ යුතුයි.
උපතිස්ස පෙරේරා, මත්තල - ඩී.එන් ජයසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon