බොරු චෝදනා කරමින් මට බනින බැනිල්ලට වෙන කෙනෙක් නම් වහ බොනවා

  👤  3507 readers have read this article !
By mawbima 2018-04-23

රත්රන් බද්ධ ඇතුළු රටේ විශාල වශයෙන් බදු වැඩිකර තිබෙන්නේ බැඳුම්කර සොරකම නිසා බවත් බැඳුම්කර සොරකම සිදු නොවුණානම් මෙතරම් භයානක බදු පනතක් මේ රටට ගෙන ඒමට අවශ්‍ය නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැසීය.


හිටපු ජනාධිපතිවරයා ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේද කීය.
මේ ආණ්ඩුව බොරුව රැකගෙන පීඩාවට පත් කරනවා. උදයංග සොය සොයා රතු නිවේදන දාගෙන යනවා. නමුත් මෙතරම් විශාල හොරකමක් සිදු කළ මහේන්ද්‍රන් සොයන්න ඒ තරම් වෙහෙසක් ගන්නේ නැහැ. එෆ්.සී.අයි.ඩී. එකේ ලොක්කා විශ්‍රාම යන්න යන්නේ. එයා එය දීර්ඝ කරගන්න ආණ්ඩුවට විශාල ලෙස පන්දම් අල්ලනවා. රාජිත මහත්තයා සහ අනෙක් අයත් අල්ලාගෙන විශාල ව්‍යාපාරයක් ගෙන යනවා. උදයංග ගේන්න කී දෙනෙක් ඩුබායි ගියාද උදයංග අත්අඩංගුවට ගැනීමට ඇති උනන්දුව මහේන්ද්‍රන්ට දක්වන්නේ නැහැ. ජනතාව අහන්නේ ඒකයි. ඒ උනන්දුව මහේන්ද්‍රන්ට නැත්තේ ඇයි කියන එකයි. මේක කරන්නේ කාගේ වුවමනාවටද?


පසුගිය මැතිවරණයෙන් අප විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා. විශ්වාසභංගය හරහා අපට ඒ ජයග්‍රහණය භුක්ති විඳින්න මේ අය ඉඩ දුන්නේ නැහැ. එකතු වෙනවා සාකච්ඡා කරනවා කියා පැවැසූ නිසා ඒ ජයග්‍රහණය භුක්ති විඳින්න අපේ අයට නොහැකි වුණා. අවසාන පළාත් පාලන ආයතනය පිහිටුවූයේත් මේ ඊයේ පෙරේදා. ඒ නිසා දැන් අප ජයපැන් බොනවා. දේශපාලනඥයන්ට නොබැනපු මිනිහෙක් කවුද ඉන්නේ.

මෛත්‍රිපාල රනිල්ට බැනපු හැටි බලන්න. යූඑන්පී එකට ඒ අය එක් වෙයි කියා කවුද සිතුවේ. එයාගේ මහා වමේ ප්‍රතිපත්ති ගැන කතා කරනවා. මාඕ සේතුං ගැන විප්ලවකාරී දේශපාලනය ගැන කතා කළේ. එහෙම කතා කරලා රනිල් වික්‍රමසිංහත් සමඟ දීග කෑවා. බණ්ඩාරනායක මහත්තයාටත් එපා වුණු එක්සත් ජාතික පක්ෂයත් සමඟයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් වී ඉන්නේ. මේ බව දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අයට තේරෙනවා මේ කරන්නේ වරදක් කියලා. ඒ නිසා අප හිතනවා ඒ අය හරි තීරණයක් ගනීවි කියලා. ආණ්ඩු විරෝධී රැල්ලක් එනවා නම් ඒ අයට අපේ පක්ෂයට පැමිණ වැඩ කළ හැකියි. ඒකාබද්ධ විපක්ෂයේ සිට ස්වාධීනව ඒ අයට වැඩ කළ හැකියි. විවේචනවලට බය වී වැඩ කරන්න බැහැ.

මට බනින බැනිල්ලට මේ කියන බොරු කතාවලට මම ගෙදර ගිහින් වහ කුප්පියක් බොන්න ඕනෙ. නමුත් හැමෝම නෙවෙයි මේ දහසය දෙනා අනෙක් නායකයන් වගේ ඉතා දරුණුවට අපට ගැහුවේ නැහැ. සමහර නායකයන් ඉන්නවා අපෙන් පළි ගැනීමට කතා කළ අය.

වෛරයෙන් කතා කළ අය ඉන්නවා. මෛත්‍රිපාල මහතාත් මට බැන්නා. නමුත් අපි විපක්ෂයේ යෝජනාව ගැන කතා කරගත්තා. ඔයා මට බැන්නා. මට අපහාස කළා කියා මටත් කියන්න තිබුණා. නමුත් එහෙම නැහැ. එහෙම දේශපාලන කරන්න බැහැ. බැනුම් අහන්නත් ඕනෙ. හොඳ කියන අයත් ඉන්නවා. බොරුවට හොඳ කියන අයත් ඉන්නවා. මේ වගේ කාලෙදි ඒ අය හඳුනාගන්න පුළුවන්. මේ වෙලාවේදී මෛත්‍රි සමඟ එක්වී ගමනක් යෑම ගැන කතා නැහැ. එතුමා යූඑන්පී එකේ ඉන්නකම් ඒ ප්‍රතිපත්තිවලට අප විරුද්ධයි.

මේක රනිල්ගේ ආණ්ඩුවක් නෙවෙයි. එතුමාගේ ආණ්ඩුව. ඒ නිසා එතුමා මේවට වග කියන්න ඕනෙ. අප පළාත් පාලන මැතිවරණයේදී කීවේ අප දෙගොල්ලන් බෙදුණෙත් පරාජය වේවි කියලා. නමුත් අප බෙදුණා. බෙදිලා තරග කළා. දෙගොල්ලන්ම දිනුම්.
මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon