imf ගිවිසුම නිසා තෙල්වලට මිල සූත්‍රයක් එනවා

  👤  3333 readers have read this article !
By mawbima 2018-04-23

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව ඛනිජ තෙල් සඳහා මිල සූත්‍රයක් මැයි 1දා වන විට අනිවාර්යයෙන්ම හඳුන්වාදීමට ආණ්ඩුවට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.


එසේ නොවුණහොත් ඛනිජ තෙල් සංස්ථාව අලාභ ලබා පවතින අර්බුදය තවත් උග්‍ර තත්ත්වයකට පත්විය හැකි බවද මන්ත්‍රිවරයා පැවැසීය.


ඊයේ (22දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිවුවැනි නිරීක්ෂණය සිදුවෙනවා. රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයා ඔවුන් සමඟ ඇතිකරගත් ගිවිසුමේ ප්‍රතිඵලයක් හැටියට මේ සඳහා මූල්‍ය අරමුදලෙන් නියෝජිතයන් සමඟ රජය යම් යම් එකඟතාවන් ඇති කරගනිමින් සිටිනවා. රට දන්න පරිදි 2015දී ඉතාම විශාල වාසිදායක ආර්ථික තත්ත්වයක් තිබුණත් හිටපු මුදල් ඇමැති අනුගමනය කරනු ලැබුවා වූ ඉතාම අදූරදර්ශී අවිචාරවත් මූල්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග කරණකොටගෙන 8.2ක්ව පැවැති විදේශ සංචිත කඩා වැටුණා. රුපියලේ අගය දිගින් දිගටම කඩාගෙන වැටුණා. විශාල ලෙස ගෙවුම් ශේෂයත් පහළ වැටුණායින් පසුව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාව සම්බන්ධයෙන් මැදිහත් වෙන්න අවස්ථාව ලැබුණේ. අපි මූල්‍ය අරමුදලේ සාමාජිකයෙක්.

ගෙවුම් ශේෂයේ අසමතුලිතතාවක් ඇති වන අවස්ථාවලදී ඒ රටට බලපෑමක් ඇතිවෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්වීමට. ඒ අනුව 2016දී රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍යතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් අස්සන් කළා. එම ගිවිසුමට රජයේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බුණා. ඒ අනුව රජයේ ආදායම හැකිතාක් වැඩි කිරීම, රජයේ වියදම් කපා හැරීම, රාජ්‍ය අය වැය ලේඛන හිඟය 2020 වන විට 3% මට්ටමට පහත හෙළීම, මුදලේ අගය විනිමය අනුපාතයට අනුව තීරණය වීමට ඉඩ හැරීම රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය යන ප්‍රතිපත්තිවලට අනුව තමයි නව දේශීය ආදායම් පනත සකස් කළේ. ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන ක්‍රියාවලිවල දිගුවක් මිස වෙන දෙයක් නොවන බව අවධාරණය කරගත යුතු වෙනවා. අපි කැමැති වුණත් නැතත් මිල සූත්‍රයක් ඛනිජ තෙල් සම්බන්ධයෙන් ඇතිවෙන එක නියතයක්.


ලෝක වෙළෙඳපොළේ මිල සමඟ මිල ගැළපුම් නොකළොත් ඛනිජ තෙල් සංස්ථාව අලාභ ලබලා මේ අර්බුදය උග්‍ර තත්ත්වයට පත්වෙන නිසා ගිවිසුමට අනුව මිල සූත්‍රයක් මැයි 1දා වන විට හඳුන්වා දෙන්නට සිදුවෙනවා. ගෑස් මිල ඉහළ යෑමක් ඇතිවෙනවා. ඛනිජ තෙල් නිෂ්පාදන ආශ්‍රිත සියලු නිෂ්පාදනවල මිල ඉහළ යෑමක් සිදුවෙනවා.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය කාලයේ විවිධ බලපෑම් කළත් රජයට, ඔවුන් මෙය දිය යට ඔබාගෙන ඉන්න බෝලයක් වගේ යටපත් කරගෙන හිටියා මැතිවරණ සියල්ල අවසන් වන තෙක්. නමුත් ඊළඟ වාරිකය නිදහස් කරගැනීමට නම් මූල්‍ය අරමුදල සමඟ ගිවිසගත් ඒවා සිද්ධ කරන්න වෙනවා. ඊළඟ වාරිකය ලැබෙන්නේ නැත්නම් ජාත්‍යන්තර වෙළෙඳපොළට පණිවුඩයක් යනවා ගිවිසුමේ සඳහන් පරිදි ලංකාව කටයුතු කරන්නේ නැහැ කියලා. එවිට විශාල ගෙවුම් ශේෂ අර්බුදයකට ලංකාවට මුහුණ දෙන්න සිදුවෙනවා. එම නිසා තමයි මේ ගිවිසුම් ඇති කිරීමේදී රටට අහිතකර දේවල් ජාතික කතිකාවතකින් තොරව අස්සන් කරන්න එපා කියලා කිව්වේ.


ලංකාව දැන් සිංගප්පූරුව සමඟ ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කරගන්න හදනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම සාකච්ඡා වට මේ වන විට අවසන් කර තිබෙන්නේ. එහිදී භාණ්ඩ සඳහා පමණක් නෙවෙයි විදේශ ආයෝජන සඳහා මෙතෙක් විවෘත නොවුණු ‍ෙදාරටු ප්‍රමාණයක් විවෘත වීමට ඉඩ ප්‍රස්ථා ලබා දී තිබෙනවා.


2020 වසර වනතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම ලංකාවට තිබෙනවා. මේ ඇතිවන සංශෝධන මූල්‍ය අරමුදලට අවශ්‍ය ලෙසම නොකර සිටීමට රජයට හැකියාව තිබෙනවා.
මැයි 7 වැනිදා පවත්වන මැයි දින රැලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම නිසා ජනතාව වෙත පැටවී තිබෙන අනේක විද බදුවලට විරුද්ධවත්, දේශීය කර්මාන්තකරුවන් වනසන විජාතික ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසට බලපෑම් කරන්න ලෙසටත් ජනතාව සමඟ ආණ්ඩුවට බලපෑම් කරන අපි කටයුතු කරනවා.


පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ


අලුතෙන් රැකියා බලාපොරොත්තු වන අයට ලක්ෂ 10ක් රැකියා ලබාදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. නමුත් මේ වන විට අපේ රටේ රැකියා කරමින් සිටි අයට රැකියා දස ලක්ෂයක් නැතිවෙන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. රැකියා දස ලක්ෂයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ අර්ජුන මහේන්ද්‍රන්. මහ බැංකුවෙන් එළවපු විටත් අගමැතිගේ උපදේශක හැටියට ටික කලක් සේවය කළා. අද රනිල් වික්‍රමසිංහ කතා කරන්නේ කිසිම දෙයක් දන්නේ නැති තොත්ත බබෙක් වගේ. හොරු අල්ලනවා කියපු ජනාධිපතිත් අද හොරු අල්ලන්න කටයුතු කරන්නේ නැහැ.
ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon