නොපමාව පාර්ලිමේන්තුව විසුරුවන්න

  👤  3442 readers have read this article !
By mawbima 2018-04-23

විශ්වාසභංග යෝජනාව නිසා සිදුවූයේ අග්‍රාමාත්‍යවරයාට පක්ෂව විශ්වාසය පළ කිරීමට වඩා සමස්ත පාර්ලිමේන්තුවම විශ්වාසය නැති ස්ථානයක් බවට පත්වීම බව 'යුතුකම' සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.


හෙතෙම මේ ප්‍රකාශ කළේ තුම්මුල්ල සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ඊයේ (22දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
ඒ මහතා එහිදී මෙසේද පැවැසීය.


අපි දැක්කා අග්‍රාමාත්‍යවරයා සමඟ එකට වැඩ කළ ඇමැතිවරු හය දෙනෙක් අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් විශ්වාසයේ නෑ කියලා ඡන්දය දුන්නා.


විපක්ෂ නායකවරයා සහ විපක්ෂ නායකවරයාගේ පක්ෂය පවතින ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් ඡන්දය ලබාදුන්නා. අවම වශයෙන් ආණ්ඩුවත් සමඟ හිටපු අය ආණ්ඩුවට එරෙහිව ඡන්දය දෙනවා නම් ඊට පෙර තමන් දරන අමාත්‍ය ධුරවලින් ඉවත් විය යුතු බවට විපක්ෂය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ මතු කරමින් ප්‍රකාශ කළා. මේක විපක්ෂ නායකවරයාට අදාළ වන්නේ නැද්ද? විපක්ෂ නායකවරයකු ආණ්ඩුවට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් කටයුතු කරනවා නම් එය හරිද? ඔහුගේ යුතුකම විපක්ෂ නායක ධුරයෙන් ඉවත් වෙලා ආණ්ඩුවට පක්ෂව කටයුතු කරන එක නොවේද? මේ සරල කාරණා දෙස බැලුවම අපිට පේන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුමත නොකරන, කිසිදු ආකාරයේ ප්‍රතිපත්තිමය හෝ මූලධර්මීය කාරණා නොතකන සම්පූර්ණයෙන්ම තමන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන ඉතාමත් පරිහානියට පත්වූ දුගඳ හමන ආයතනයක් බවට පත්ව ඇති බවයි.


විශ්වාසභංග යෝජනාව ගෙනාවේ මේ රටේ සිදු වුණු දැවැන්තම හොරකම වන මහ බැංකු වංචාව සම්බන්ධයෙන් වගකිව යුතු අගමැතිතුමා සම්බන්ධයෙන්. විශ්වාසභංගය ගෙන ඒමට පෙර මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පළාත් පාලන ඡන්දයේදී තමන් හට ලබා දෙනවා යැයි පොරොන්දු වූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව ලබා නොදෙනවා නම් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවට පැවැසුවා. ඔහු අග්‍රාමාත්‍යවරයාට සහාය දී ඡන්දය ලබා දීමට බලපෑවේ විශ්වාසභංග යෝජනාවේ අඩංගු කරුණු නෙවෙයි.


මේ ආණ්ඩුව බලයට පත්වුණේ පිරිසුදු පාලනයක් අවශ්‍යයැයි කියන පදනමින්. එවැනි ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයකුට මහ බැංකු මගඩියට සම්බන්ධ වුවත්, නැතත් එතුමා මුදල් පනත උල්ලංඝනය කරලා මහ බැංකුව තමන් යටතට අරගෙන, විජාතිකයකුට මහ බැංකුවේ අධිපතිකම ලබා දීම වැනි ක්‍රියාමාර්ග තුළින් පෙනී යන්නේ එතුමා ඉල්ලා අස්විය යුතු බවයි. එසේ තිබියදී විපක්ෂ නායකවරයා අනෙකුත් පක්ෂවල නායකවරු සහ හොරකමින් තොර රජයක් පවත්වා ගැනීමට ක්‍රියා කළ කොටස්කරුවන් එකී මූලික කරුණ නොතකා ක්‍රියා කිරීම තුළින් පැහැදිලි වන්නේ මේ පාර්ලිමේන්තුව තවදුරටත් වලංගු වන්නේ නැති බවයි.


විශ්වාසභංග යෝජනා විවාදයට පෙර ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා අස්වන ලෙසට නිල වශයෙන් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම සලකා නොබැලීම සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයිද?


පසුගිය පෙබරවාරි 10 ජනවරම ගත්තත් මේ පාර්ලිමේන්තුවේ අගමැති, කතානායක, විපක්ෂ නායක, සභා නායක ආදී සියලුම තනතුරු දරන අය පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් පාලනයක් ගෙන යෑමට අසමත් බව පෙන්වලා තිබෙනවා. ඒ නිසා මේ දේශපාලන පක්ෂ නායකයන්ට යම් තරමක හෝ මේ රටේ අනාගතය ගැන හෝ තමන්ගේ දේශපාලන පක්ෂවල අනාගතය ගැන අදහසක් ඇත්නම් ඔවුන් නොපමාව පාර්ලිමේන්තුව විසුරුවා හැරලා අලුත් පාර්ලිමේන්තුවක් අලුත් නියෝජිතයන් පිරිසක් පත් කර ගැනීමට මහජනතාවට ඉඩ ලබා දිය යුතුයි.
නලිනිකා ලක්ෂාණි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon