දඹුල්ල දිගම්පතහ රක්ෂිතයේ වේවැල් දළ ඇත් පැටවාට පිරිසක් වෙඩි තියලා

  👤  3227 readers have read this article !
By mawbima 2018-04-23

දඹුල්ල - කේ. කේ. ආරියදාස


දඹුල්ල දිගම්පතහ රක්ෂිතයේ නිරන්තරයෙන් ප්‍රධාන මාර්ගය ආසන්නයේ සැරිසරමින් සිටි කුඩා වේවැල් දළයා නමින් හඳුන්වන ඇත් පැටවාට කිසියම් පිරිසක් වෙඩි තැබීම නිසා ඔහුගේ එක් අතකට තුවාල සිදුවී ඇතැයි සීගිරිය වනජීවී නිලධාරීහු පවසති.


පසුගිය දින කිහිපයේම කුඩා වේවැල් දළයා නමින් හඳුන්වන මේ ඇත් පැටවා සොයා ගැනීමට නොහැකිව සිටි බවත් 20 දින පස්වරුවේ ඇත් පැටවා ප්‍රධාන මාර්ගය ආසන්නයේ ගැවසෙන බවට ලැබුණු තොරතුරක් මත සීගිරිය වනජීවී නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් එදින පස්වරුවේ ඇත්පැටවා ප්‍රධාන මාර්ගය ආසන්නයේ ගැවසෙන බවට ලැබුණු තොරතුරක් මත සීගිරිය වනජීවී නිලධාරීහු පිරිසක් එම ස්ථානයට ගොස් ඇතාට වෙඩි වැදීමෙන් සිදුව ඇති හානි පිළිබඳ නිරීක්ෂණය කළහ.


එක් අතකට වෙඩි වැදී සිරුර ඇතුළෙන් පැසවා ඇති ආකාරය වනජීවී නිලධාරියෙක් නිරීක්ෂණය කළහ. නිරීක්ෂණය කරනවාත් සමඟම කුඩා වේවැල් දළයා එකවරම වනජීවී නිලධාරීන්ට පහර දීමට පන්නන්නට විය. පසුව අලි වෙඩිල්ලක් ආධාරයෙන් වනජීවී නිලධාරීහු ඇත් පැටවා නැවතත් හරවා යැවීමට ක්‍රියා කළහ.

මේ වනවිට දඹුල්ල දිගම්පතහ රක්ෂිතයේ දඹුල්ල නගරයෙන් ඉවත් කර කුණු කසළ ආහාරයට ගැනීම සඳහා පැමිණ සිටින වේවැල් දළයා නමින් හඳුන්වන විශාල ඇතා සහ තවත් වන අලින් 6 දෙනකු වෙඩි වැදී සිටින බව සීගිරිය වනජීවී කාර්යාලයේ ප්‍රධානී වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. බණ්ඩාරනායක මහතා පැවැසීය.


දැනට සිදුකරන ලද නිරීක්ෂණ අනුව මේ වන අලින්ට බඳින තුවක්කු පත්තුවීමෙන් තුවාල සිදුව ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. සිංහල අලුත් අවුරුද්ද උදාවීමට දින කිහිපයක් තිබියදී මෙයාකාරයෙන් සියලු අලින්ට වෙඩි වැදීම පිළිබඳවද නිරීක්ෂණය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.


බොහෝදුරට අලුත් අවුරුදු සමයේ වන අලින්ට කැලෑවට ගෙනත් දමන එළවළු ප්‍රමාණය අවම වීම නිසා ආහාර සොයා වන අලින් ගම් වදිද්දී මෙවැනි අනතුරුවලට ලක් වනවාද යන්න සැකයක් පවතින බව බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon