ඇතින්නියට මඟහැරුණු මාස දෙකේ අලි සිඟිත්තා වනජීවී නිලධාරීන් පිරිසකට හමුවෙලා

  👤  3353 readers have read this article !
By mawbima 2018-04-23

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ


වැලිකන්ද, වඩුමුනේ ප්‍රදේශයේදී වන අලි රංචුවක ඇතින්නියකට මඟහැරුණු මාස දෙකක් පමණ වයසැති අලි සිඟිත්තකු පොළොන්නරුව වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන් පිරිසකට හමුවී ඇතැයි පොළොන්නරුව වනජීවී කාර්යාලය කියයි.


වැලිකන්ද නගරයට දකුණින් පිහිටි කුඩා ඔය ආසන්නයේ වඩුමුනේ ප්‍රදේශයේදී ඉකුත් 19දා මෙසේ අලි පැටවකු අතරමංවී සිටින බවට ලැබුණු තොරතුරක් මත වනජීවී නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් ඇති අතර අලි පැංචාගේ මව හා අලි රංචුව සොයා පැංචාව රංචුවට එකතු කිරීමට දවසක් තිස්සේ අලි රංචුව සැරිසරන ඉසව්ව සොයා බැලුවද අලි රංචුව වනාන්තරයේ අෑතට ගොස් ඇතැයි පොළොන්නරුව අඩවි ආරක්‍ෂක කාර්යාලයේ අඩවි ආරක්‍ෂක පී.එම්. රත්නායක මහතා පවසයි.


'අපි මුළු දවසක් තිස්සේ අලි පැටියාගේ මව සොයා ගන්න උත්සාහ කළා. එහෙත් අලි රංචුව ගිය ඉසව්වක් සොයා ගන්න බැරි වුණා. ඒ නිසා අලි පංචාගේ ආරක්‍ෂාවට අපි එයාව පොළොන්නරුව අඩවි කාර්යාලයට රැගෙන ආවා' රත්නායක මහතා කීය.


පැය තුනකට වරක් සූප්පු බෝතලයකින් කිරි පොවමින් ඇති දැඩි වන මේ අලි සිඟිත්තා බැලීමට අවට කුඩා ළමයින් පැමිණෙන අතර සිඟිත්තාට සෙල්ලම් කිරීමට බෝලයක්ද ලැබී තිබේ. වනජීවී නිලධාරීන්ගේ හා අවට කුඩා දරුවන්ගේ සුරතලය මත ඇති දැඩි වන මේ අලි සිඟිත්තා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය සමීර කලිගුආරච්චි හා පශු වෛද්‍ය දිනූෂා ද සිල්වා මහත්මියගේ අධීක්‍ෂණය හා මඟපෙන්වීම යටතේ රැක බලා ගැනීම සිදුකෙරේ.


අලි පැටවා රැගෙන ඒමේ මෙහෙයුම පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්.එම්.ජේ. වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පොළොන්නරුව වන ජීවී අඩවි කාර්යාලයේ අඩවි ආරක්‍ෂක පී.එම්. රත්නායක, අඩවි සහකාර එස්.ඒ. වික්‍රමරත්න, වන සත්ත්ව නියාමකවරුන් වන ඉන්දික, අමරසිංහ, අධිකාරි හා සිවිල් ආරක්‍ෂක බළකායේ පොළොන්නරුව මූලස්ථානයෙන් අනුයුක්තව සිටින උප නියාමකවරුන් වන තිලකරත්න, ගාමිණි හා ප්‍රියන්ත යන නිලධාරීහු විසින් ක්‍රියාත්මක කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon