සාමුහික ගිවිසුමට අනුව වතු කම්කරුවන්ට හිඟ වැටුප් නොගෙවීමෙන් කෝටි 8ක මුදලක් අහිමි වෙලා

  👤  3381 readers have read this article !
By mawbima 2018-04-23

හාලිඇළ - පියල් කිත්සිරි


ගියවර වසරක් ප්‍රමාද වී අස්සන් තබන ලද වතු කම්කරු වැටුප් වැඩිකිරීමේ සාමූහික ගිවිසුමට අනුව සියලු වැවිලි සමාගම් හිඟ වැටුප් ගෙවීමට එකඟ වුවත් මේ දක්වා එම හිඟ වැටුප් ගෙවීමට ක්‍රියා නොකිරීම නිසා වතු කම්කරුවන්ට රුපියල් අට කෝටි හතළිස් ලක්ෂයක මුදලක් අහිමි වී ඇතැයි කඳුරට ජනතා පෙරමුණ චෝදනා කරති.


වතු කම්කරු වැටුප් වැඩි කිරීමට සාමූහික ගිවිසුම් ක්‍රමය හඳුන්වා දීමෙන් පසු වසර දෙකින් දෙකට වැටුප් වැඩිකිරීම සඳහා සාමූහික ගිවිසුම අස්සන් තැබෙන අතර 2016 වසරේ අස්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුම වසරක් ප්‍රමාද වී 2017 වසරේදී අස්සන් තැබීම නිසා වැටුප් වැඩිවීමට අනුව හිඟ වැටුප් ගෙවීමට සියලු වැවිලි සමාගම් එකඟ වී මේ දක්වා එම හිඟ වැටුප් ගෙවීමට ක්‍රියා නොකිරීම මේ තත්ත්වයට හේතු වී තිබේ.


2017 දී අස්සන් කරනු ලැබූ සාමූහික ගිවිසුම මඟින් වතු කම්කරුවන් සඳහා මාසික වැටුප් වැඩිවීම රුපියල් තුන්දහස් පන්සීයකින් ඉහළ නැංවීමට පියවර ගත් නමුත් ගිවිසුම වසරක් ප්‍රමාදවීම නිසා ප්‍රමාද වූ වසර සඳහා මාසයකට රුපියල් තුන්දහස් පන්සීය බැගින් ගෙවීමට පියවර ගන්නා ලෙස හිටපු කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා විසින් වැවිලි සමාගම්වලට කරන ලද දැනුම්දීමට අනුව එකඟ වූ වැවිලි සමාගම් එම එකඟතාව බිඳ දමා කටයුතු කර ඇතැයි පැවැසූ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ. අරවින්ද් කුමාර් මහතා මේ නිසා එක් වතු කම්කරුවකුට ප්‍රමාද වූ වසර වෙනුවෙන් ලැබිය යුතු රුපියල් හතළිස් තුන්දහසක මුදලක් අහිමි වී ඇතැයිද කීය.


මේ තත්ත්වය මත උඩරට තේ කර්මාන්තය ආශ්‍රිතව සේවයේ යෙදී සිටින ලක්ෂ දෙකක් වන වතු කම්කරුවන් සඳහා රුපියල් අට කෝටි හතළිස් ලක්ෂයක මුදලක් අහිමි වී ඇතැයි පැවැසූ අරවින්ද් කුමාර් මහතා වතු කම්කරුවන්ට සිදු වූ මේ අලාභයේ සම්පූර්ණ වගකීම වතු හාම්පුතුන්ගේ සම්මේලනය සමඟ සාමූහික ගිවිසුම අස්සන් තබන ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය බාරගත යුතු බවද පැවැසීය.


දැනට ක්‍රියාත්මක සාමූහික ගිවිසුමේ නිල කාලය ලබන මැයි මාසයෙන් අවසන් වන නිසා නැවත එය ප්‍රමාද වීමට ඉඩහැර කල් නොදමා වහාම එය අස්සන් තැබීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වතු හාම්පුතුන්ගේ සම්මේලනයෙන් සහ වතු කම්කරුවන් වෙනුවෙන් ගිවිසුමට අස්සන් තබන වතු වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බව වැඩිදුරටත් පැවැසූ අරවින්ද් කුමාර් මහතා එය හිතාමතාම ප්‍රමාද කිරීමට ක්‍රියා කළහොත් සියලු පාර්ශ්වවලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට කඳුරට ජනතා පෙරමුණ තීරණය කර ඇතැයිද කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon