ඒකීය රාජ්‍ය අහෝසි කිරීමේ කොන්ත්‍රාත්තුව ජවිපෙ භාර අරගෙන

  👤  3496 readers have read this article !
By mawbima 2018-04-23

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඒකාබද්ධ විපක්ෂය සහාය දීමට සූදානම් වුවහොත් ජාතික නිදහස් පෙරමුණ ඊට දැඩි ලෙස විරුද්ධ වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.


ඒකාබද්ධ විපක්ෂය ඊට කොන්දේසි සහිතව සහයෝගය දෙන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිපදෙනකු ප්‍රකාශ කර තිබුණද ඒකාබද්ධ විපක්ෂය තවමත් නිල වශයෙන් එවැනි තීරණයක් ගෙන නැති බවද මන්ත්‍රිවරයා පවසයි.


13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කිසිසේත්ම නිවැරැදි නොවන බවත් එය තවදුරටත් රට අවුලෙන් අවුලට ඇද දමන්නක් බවත් හෙතෙම අවධාරණය කරයි.


දහතුන්වැනි සංශෝධනය මඟින් පූර්ණ සන්ධීය රාජ්‍යයක් බිහිනොවීමට බලපෑ එක් ප්‍රධාන සාධකයක් වූයේද වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත විධායක ජනාධිපති ක්‍රමය බවද මන්ත්‍රිවරයා කියා සිටියේය.


විධායකය අහෝසි කිරීමේ මුවාවෙන් ඒකීය රාජ්‍ය අහෝසි කිරීමේ කොන්ත්‍රාත්තුව ජ.වි.පෙ ඉටුකරන බවත් ඒ කාර්ය ඉටුකරගැනීමට බලාපොරොත්තු වන්නේ කාරක සභා අවස්ථාවේදී ගෙනඑන සුළු සංශෝධන මඟින් බව මෑත ඉතිහාසයේ ලත් පාඩම් ඇසුරින් වටහා ගත හැකි බවත් ඔහු පැවැසුවේය.


අවසානයේදී පළාත් සභාවලට අදාළව ජනාධිපතිවරයාට ඇති පාලනය අහෝසි කිරීම සහ තවත් ඒකීය රාජ්‍යයේ පැවැත්මට හානිකර සංශෝධන සම්මත වී විධායක ජනාධිපති ධුරය නාමිකව අහෝසි කිරීම සඳහා අවශ්‍ය ජනමත විචාරණය පසුවට කල්යෑම සිදුවනු යැයිද ඔහු අවධාරණය කළේය.
හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon