ආණ්ඩුවේ සිටි කුහකයන් දැන් එළියට ඇවිත්

  👤  3577 readers have read this article !
By mawbima 2018-04-23

ආණ්ඩුව තුළ සිටිමින් කකුලෙන් ඇදපු කුහකයන් ඉවත්වීම නිසා ආණ්ඩුවට ශක්තිමත්ව ජනතාවට සහන ලබාදීමට හැකිවී තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.


එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ පැවැති රහස් ඡන්දයකින් තමන්ට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකියාව ලැබුණේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව තිබූ නිසා බවද නවීන් දිසානායක අමාත්‍යවරයා පැවැසීය.


ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හඟුරන්කෙත ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයකට සහභාගි වෙමිනි.


ඇමැතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවැසුවේය.


නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිටින එකම සිංහල කැබිනට් ඇමැතිවරයා වන්නේ මම. ඒ නිසා මට විශාල වගකීමක් තිබෙනවා. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට පත්වීමටත් මට හැකියාව ලැබී තිබෙනවා. රහස් ඡන්ද හතරක් තියලා තමන්ගේ නායකයන් පත් කිරීමට කටයුතු කළ එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ ආකාරයට කටයුතු කිරීමට හැකිවී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නිසයි.


පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව අපිට හොඳ පාඩමක් කියලා දුන්නා. ඉදිරි මාස දහඅට තුළදී අපිට විශාල වැඩකොටසක් කිරීමට තිබෙනවා. හඟුරන්කෙත, නුවරඑළිය නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල බලය අපි පිහිටවනු ලැබුවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලැබූ ජයග්‍රහණය අපිට මුළු රටෙන්ම ලබාගැනීමට නොහැකි වුණා. ජනතාව මැතිවරණයේදී අපිට ඉගැන්වූ පාඩම අනුව අපි කළ යුතු වෙනස්කම් කර තිබෙනවා. ඒ නිසා තමයි පරණ විදියට පොහොර ලැබෙන්නේ. පරණ විදියටම පාසල් ළමුන්ට නිල ඇඳුම් ලබාදෙනවා. රාජ්‍ය සේවකයන් ඒ සඳහා කටයුතු කරනවා.


ඉදිරි මාස හය ඇතුළත ජනතාවගේ අත මිට සරු වෙනවා. සහනාධාර මීට වඩා ක්‍රමවත්ව ජනතාවට දැනෙන ආකාරයට ලබාදෙනවා. ඒ අතරම රුපියල් බිලියන පනහක මුදලක් ජනතාවට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.


අපේ ආණ්ඩුව ඇතුළේ සිටිමින් අපේ කකුල්වලින් අදිමින්, කුහකකම් කරමින් සිටි පිරිස දැන් එළියට ඇවිත් තිබෙනවා. ඔවුන් ආණ්ඩුවෙන් එළියට ඒම සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා දැන් අපිට ශක්තිමත්ව ඉදිරියට යන්න පුළුවන්. ජනතාවගේ පණිවුඩයත් ලබාගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර තිබෙනවා.


ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon