මැණික් ගඟේ දිය නාද්දි දිය වළක වැටී අතුරුදන් ව්‍යාපාරිකයාගේ මළ සිරුර හමුවෙයි

  👤  3366 readers have read this article !
By mawbima 2018-04-23

වැල්ලවාය - ජී.අයි. රොෂාන් බුත්තල - නයන කුමාර


බඩල්කුඹුර ප්‍රදේශයේ පිහිටි පරෙයියන් ඇල්ල ආශි්‍රත මැණික් ගඟේ දිය නෑමට පැමිණ දිය වළක වැටී අතුරුදන් වී සිටි 52 හැවිරිදි ව්‍යාපාරිකයකුගේ මළ සිරුරක් ඊයේ (22දා) ප්‍රදේශවාසීන් හා නාවික හමුදාවේ කිමිඳුම්කරුවන්ගේ සහාය ඇතිව බඩල්කුඹුර පොලිසිය මඟින් සොයාගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ එංගලන්ත පුරවැසිභාවය සහිත කේ.ඩී. ජයන්ත චන්ද්‍රසිරි නමැති ව්‍යාපාරිකයෙකි. ඔහු කතරගම "මව්බිම" මාධ්‍යවේදී කේ.ඩී. දේවප්‍රිය මහතාගේ වැඩිමල් සහෝදරයාය.


ඔහු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු පෙරේදා (21දා) සවස මැණික් ගඟේ පරෙයියන් ඇල්ල ආශි්‍රත ප්‍රදේශයට පැමිණ එහිදී මත්පැන් පානය කර විනෝද වෙමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.


මියගිය පුද්ගලයා ඇතුළු පිරිස මත්පැන් පානය කර දිය නාමින් සිට ඇති අතර ටික වේලාවකින් ජයන්ත පෙනෙන්නට නොසිටීම හේතුවෙන් මෙම පිරිස ඔවුන් පැමිණි වාහනයද අතහැර දමා පලාගොස් තිබේ. ඥාතීන්ට ලැබුණු දුරකතන ඇමතුමක් ඔස්සේ පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී මැණික් ගඟේ දිය වළක මියගොස් සිටි මෙම ව්‍යාපාරිකයාගේ මළසිරුර හමුවී තිබේ.


මියගිය අයගේ දුරකතනයද ඔහු මියගොස් සිටි දිය වළේ ඇති බවට ඔහු සමඟ සිටි පුද්ගලයකු පැවැසූ තොරතුරක් අනුව පානම නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් කළ සෝදිසියකදී ඔහුගේ දුරකතනයද සොයා ගැනීමට හැකි විය.


මාධ්‍යයට අදහස් දක්වමින් මියගිය අයගේ සහෝදරයා වන කේ.ඩී. දේවප්‍රිය මහතා මෙසේ කීය.


මියගොස් සිටින්නේ මගේ එකම සහෝදරයා. ඔහු එංගලන්තයේ පුරවැසිභාවය තියෙන අයෙක්. වසර 16ක් හිටියේ එංගලන්තයේ. ලංකාවේ හෝටලයක් පවත්වාගෙන යනවා. විනෝදයට බර අයෙක් වගේම මේ වගේ ස්ථානවල නිතර ඇවිදිනවා. මේ පිරිස සමඟ පැමිණි එක් පුද්ගලයෙක් අයියාගේ හෝටලය අඩු මුදලකට පසුගිය දිනවල ඉල්ලුවා. ඒකට අයියා කැමැති වුණේ නෑ. හිත් අමනාපෙන් හිටියේ. අයියා එහෙම බොන කෙනෙකුත් නෙවෙයි. අපිට ඇමතුමක් ආවා අයියා අතුරුදන් වෙලා කියලා. ඒ අනුව අපි අයියා හොයන්න ආවා. මේ පිරිස අපි හොඳට දන්නවා. නමුත් අයියා අතුරුදන් කියලා කිව්වේ නෑ.


මේ සිද්ධිය ප්‍රදේශයේ පළාත් සභා මන්ත්‍රි කෙනෙක් යට ගහන්න හදනවා. ඇයි එහෙම කරන්නේ? අයියා වැටුණ නම් කරන්න තිබුණේ මුලින්ම පොලිසියට කියන්න. නැත්නම් අපිට කියන්න. ඒ මොකවත් නැතුව මේ අය සද්ද නැතුව හිටියා. ඒක නිසා අපිට මේ මරණය ගැන සැකයි. මේ මරණය හොයාගන්න බඩල්කුඹුර පොලිසිය නාවික හමුදාව වගේම අවට ප්‍රදේශවාසීන් මහන්සි වුණා. අපි සාධාරණයක් බලාපොරොත්තු වෙනවා.


බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරසිරි මහතා පැවැසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සමඟ සිටි පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් අපරාධ අංශයේ නිලධාරීන් යොදවා පරීක්ෂණයක් පවත්වන බවත්ය.


මොනරාගල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ නියෝගයෙන් සහකාර පොලිස් අධිකාරි ඩී.එම්. තිලකරත්න මහතාගේ උපදෙස් මත බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරසිරි මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon