අවුරුදු සාදයේදී ඉඩම් ආරවුලක් දුරදිග ගොස් පියාත් මාමාත් රෝහලට

  👤  3238 readers have read this article !
By mawbima 2018-04-23

දඹුල්ල - කේ.කේ. ආරියදාස


අලුත් අවුරුදු සාදයක් අතර ඇති වූ ඉඩම් ගනුදෙනුවක් පිළිබඳව කතාබහක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමකින් එකම පවුලේ පියකු සහ මාමණ්ඩිය දරුණු කැපුම් තුවාල සහිතව රෝහල්ගත කොට ඇත. එම පහරදීමට සැකපිට පුතකු සහ මවක රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව දඹුල්ල පොලිසිය කියයි. දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි පවුලක සාමාජිකයන් අතර මෙම ගැටුම සිදු වී තිබේ. පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අලුත් අවුරුද්ද සැමරීම සඳහා තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින සිය මවුපියන්ගේ නිවෙසට දියණියත්, දියණිය විවාහ වූ සැමියාත් සැමියාගේ පියා ඇතුළු කණ්ඩායමක් පැමිණ සිටි බවය.


දියණිය සහ බෑනා ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන නිසා බිරියට අයත් තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක කාමර කිහිපයක් සාදා ව්‍යාපාරයක් පටන් ගන්නා ලෙස පියා දියණියට හා බෑනාට අවුරුදු සාදය තුළදී උපදෙස් ලබා දී තිබේ.


එය ඉවසා ගැනීමට නොහැකිව සිටි එම නිවෙසේම පුතකු එයට දැඩි ලෙස විරුද්ධව සිය විරෝධය ප්‍රකාශ කර ඇති බවත් එහිදී ඇති වූ බහින්බස්වීම දුරදිග යෑම නිසා ගැටුමක් බවට පත්ව ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවැසීය.


පසුව ඉඩම ලබා දීමට විරුද්ධ වූ පුතා සිය පියා කැලෑවකට ඇදගෙන ගොස් පිහියකින් ඔහුගේ සිරුර කපා තිබේ. එම ආරවුල බේරීම සඳහා මවත් දියණියත් ඔහුගේ බෑනා හා බෑනාගේ පියා මැදිහත්ව තිබෙන බවත් ඒ අතර සැමියාට පිහියකින් පහර දෙන දුටු මව කැත්තක් ගෙන පුතාට ප්‍රහාරයක් එල්ල කොට තිබෙන බවත් එම ප්‍රහාරයෙන් පුතා බේරී ළඟ සිටි දියණියගේ මාමණ්ඩියගේ සිරුරේ වැදී තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


තුවාලකරුවන් දෙදෙනාම දඹුල්ල රෝහලට ඇතුළත් කොට ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට මව සහ පුතා අත්අඩංගුවට ගත් බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (23දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.
දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ආර්. සෙනවිරත්න මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අතර පොලිස් සැරයන් බණ්ඩාර (23267) මහතා සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon