විශාල රළ පහරක් සමඟ මුහුදට වැටිලා දුව ගහගෙන ගියා එතකොටම පුතා මුහුදට පැන්නත් දෙදෙනාම ගහගෙන ගියා

  👤  3302 readers have read this article !
By mawbima 2018-04-23

කොළඹ - එම්.සී. පෙරේරා


විශාල රළ පහරක් සමඟ මුහුදට වැටිලා දුව ගහගෙන යන විට අපි සියලු දෙනාම කෑ ගැහුවා. එතකොටම පුතා මුහුදට පැන්නත් දුවව බේරාගන්න බැරි වුණා. දෙදෙනාම ගහගෙන ගියා යැයි එකම පවුලේ මියගිය සහෝදර සහෝදරියන් දෙදෙනාගේ මරණ පරීක්ෂණයේදී පියා වන මොහොමඩ් හුසේන් (51) මහතා සාක්කි දෙමින් පැවැසීය.
කොළඹ අලුත්කඩේ කුමාර ‍ෙදාරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් මුජාහිඩ් හා ඔහුගේ සහෝදරයා යන තෘෂ්ණා නාබි අනතුරින් මිය ගියහ.


වැලිපැන්න කොට්ඨාසයේ හා නාගොඩ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ බේරුවල දිසා රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්විණි.
බේරුවල පොලිසියේ කොස්තාපල් කුමාර (84179) හා ජයරත්න (65070) මහත්වරුන්ගේ මෙහෙයවීම මත තවදුරටත් සාක්කි දුන් මියගිය දෙදෙනාගේ පියා වන මොහොමඩ් මහතා මෙසේද පැවැසීය.


අපි ඉකුත් 20දා දහසය දෙනකුගෙන් යුත් පිරිසක් දින දෙකක විනෝද චාරිකාවකට ආවා. ඇවිත් නැවතුනේ බේරුවල හෝටලයක. පසුදින (21දා) පෙරවරු 10ට පමණ අපි වෙරළට ඇවිත් ඉන්න කොට බෝට්ටුකරුවකු අපි සිටින ස්ථානයට ඇවිත් ඇහුවා ප්‍රදීපාගාරය බලන්න යනවද කියලා. එක් අයකුගෙන් රුපියල් 600ක් අය කරනවා කියලා කිව්වා.
අපි 11 දෙනෙක් එය නරඹන්න යන්න කැමැති වුණා. කුඩා දරුවකුත් එකඟ වුණා. ඔක්කෝම ‍ෙදාළොස් දෙනෙක් ගියා. නමුත් ප්‍රදීපාගාරය වසා තිබුණ බැවින් අපි එහි පිටුපස දෙසට ගිහින් අවට සිරි නරඹමින් සිටියා.


දුවයි පුතයි තවත් දෙදෙනකුයි ඒ අසල තිබෙන ගල් පර්වතයකට නැඟ අවට බලමින් විනෝද වුණා. විනාඩි 10ක් වත් ගියේ නැහැ. එක පාරටම විශාල රැල්ලක් ඇවිත් ඒ සියලු දෙනාම මුහුදට වැටුණා.


එයින් පුතා ඇතුළු තුන් දෙනෙක් නැවතත් ගල මතට ආවා. දුවට එන්න බැරි වුණා.


දුව ගහගෙන යන විට අපි සියලු දෙනාම කෑගැහුවා. ඒ එක්කම පුතා මුහුදට පැන්නා දුව බේරාගන්න. ඒ එක්කම තව රැල්ලක් ඇවිත් දෙදෙනාම ගහගෙන ගියා.
අපි කෑ ගහන සද්දෙට බෝට්ටු දෙකක පිරිසක් ඇවිත් ඒ අයව බෝට්ටුවට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගත්තා. රෝහල් ගත කරන විටත් දුවගේ ජීවිතය නැති වෙලා කියලා දැන ගන්න ලැබුණා.


පුතාගේ හිස හා මුහුණ ගල්වල වැදිලා තුවාල වෙලා තිබුණා. දුවගේ තුවාල තිබුණේ නැහැ. මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන මොහොමඩ් සුරලයිමාන් සරාන් හා මියගිය දෙදෙනාගේ මව වන හසිනා ෆාරුක් මහත්මියද සාක්කි දුන්නාය.


සිදුවූ අනතුරට මව හා පියාගේ කිසිදු සැකයක් නොමැති බවට ලිඛිතව දැනුම් දීමත්් ඔවුන් ඉස්ලාම් භක්තියන් වීමත් හේතුවෙන් මෙම මරණ දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණ බවට හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා තීරණය කළේය.


මියගිය තරුණිය මීට සිවු මසකට පෙර විවාහ වූ තැනැත්තිය වන අතර මියගිය තරුණයා මාස 6ක කුඩා බිලිඳකු සිටි පියෙකි.
මියගිය දෙදෙනාගේ අවසන් කටයුතු පෙරේදා සවස සිදු කෙරිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon