මළ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණයට රජයේ රස පරීක්ෂකට යොමු කරයි

  👤  3368 readers have read this article !
By mawbima 2018-04-23

කොළඹ - එම්. සී. පෙරේරා


හොරණ රබර් කර්මාන්ත ශාලාවේ ඇති වූ සිද්ධියෙන් මියගිය පස් දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පානදුර මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය උත්පල ආටිගල මහතා ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කෙළේය.


මළ සිරුරුවලින් ලබාගත් කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.


ඉකුත් 19 වැනි දින සිදු වූ මෙම අනපේක්ෂිත සිදු වීමෙන් මියගිය කළුතර උතුර උග්ගල්බඩ පදිංචිව සිටි ඩබ්ලිව්. ආරියපාල (40), බේරා ගැනීමට ගිය හොරණ භදගල්ල පාර පදිංචිව සිටි වරුණ චන්ද්‍රසේකර (23), හොරණ පින්නකොල වල්පිට පදිංචිව සිටි ප්‍රියන්ත කුමාර (41), හොරණ බැල්ලපිටිය පදිංචිව සිටි දිලිප් කසුන් ලොකු පතිරගේ (32), බැල්ලපිටිය අක්කර 35 පදිංචිව සිටි ලාල් ප්‍රියන්ත කුමාර (28) යන අයවලුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.


මියගිය පස් දෙනාගෙන් දෙදෙනකු වන ඩබ්ලිව්. ආරියපාල (40), එහි කම්කරු සේවකයකු ලෙස රැකියාව කරන අතර වරුණ චන්ද්‍රසේකර එම කර්මාන්ත ශාලාවේ රසායනාගාර සහායකයකු ලෙස සේවය කළ අයෙකි.


සිද්ධිය වූ දින කර්මාන්ත ශාලා භූමියට පැමිණි හොරණ අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් මානෙල් ගුණතිලක මහත්මිය කළ නියෝගයක් අනුව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්විණි.


එදින දහවල් මිය ගිය සේවක ආරියපාල නමැත්තා භූගත ඇමෝනියා ටැංකියේ කරාමයක් වැසීමට යෑමේදී ඔහු සිහිසුන්ව ටැංකියට වැටීමත් සමඟ ඔහු බේරා ගැනීමට පැමිණි රසායනාගාර සහායකවරයාද සිහිසුන් වී ඇත. එම කර්මාන්ත ශාලාවේ සේවිකාවන් කර්මාන්ත ශාලාවේ ඉදිරිපිට ප්‍රධාන මාර්ගය වන හොරණ බුලත්සිංහල මාර්ගයට ගොස් ආධාර ඉල්ලා කෑ ගැසීමේදී පැමිණි පිරිස අතර සිටි තිදෙනකු සිහිසුන්ව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.


පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන අතරතුර එම කර්මාන්ත ශාලාවේ ජේ‍යෂ්ඨ රසායනාගාර ප්‍රධානී සහ ඇයගේ ස්වාමි පුරුෂයා පැමිණ මියගිය පස් දෙනාගේ පවුලේ ඥාතීන් හමු වී අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් එක් අයකු සඳහා රුපියල් පනස් දහස බැගින් මුදලක් ලබා දීමට උත්සාහ කිරීමේදී එම ඥාතීන්ගේ දැඩි විරෝධය හමුවේ එම ස්ථානයෙන් පිටව ගියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon