බිරියගේ ගෙල කපා පුද්ගලයකුට පිහියෙන් ඇන මරා තවකෙකුට පිහියෙන් ඇන පලා ගිය අපරාධකරු සොයා පරීක්ෂණ

  👤  3436 readers have read this article !
By mawbima 2018-04-23

ඒකල - ප්‍රසංග පාවුළුහේවා ගම්පහ - ‍ෙදාන් විතානාච්චි


සිය බිරියගේ බෙල්ල කපා අසල්වැසි පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර තවත් පුද්ගලයකුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කර පලාගොස් සිටින පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා රාගම පොලිස් නිලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.


ඉකුත්දා (20දා) රාත්‍රි ඉහත අපරාධය සිදු කර තිබිණි. පලාගොස් සිටින සැකකරු හා මියගිය පුද්ගලයා මිතුරන් වන අතර ඉකුත් 8 වැනිදා රාත්‍රි සැකකරු මරණකරුගේ නිවෙසට පැමිණ ඇත. බීමතින් ඔහු මරණකරුගේ නිවෙසට පැමිණ සිටීමත් ඔහුගේ ඇඳුම්වල රුධිරය පැවැරී තිබීමත් හේතුවෙන් සැකකරුට මරණකරු විසින් නිවෙසින් පිටව යන ලෙස පවසා තිබේ.


එම අවස්ථාවේදී මරණකරුගේ නිවෙසින් පිටව ගොස් ඇති සැකකරු නැවත වරක් මරණකරුගේ නිවෙසට පැමිණ ආරවුලක් ඇති කරගෙන ඇත්තේ තියුණු පිහියක්ද අතැතිවය. මෙම ආරවුල අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ ඇති තවත් අයකු ආරවුල සමථයකට පත්කරන්නට උත්සාහ දරා ඇති අතර සැකකරු ප්‍රථමයෙන් ඔහුට පිහියෙන් ඇන පසුව මියගිය අයගේ පපු පෙදෙසට පිහි පහරක් එල්ල කර ඇත. දෙවනුවට පිහි ඇනුම් කෑ පුද්ගලයා එම ස්ථානයේදීම මරණයට පත්ව තිබේ.


පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ සැකකරු සිය බිරිය සමඟ 20 වැනිදා රාත්‍රියේ ආරවුලක් ඇති කරගෙන ඇති බවයි. රාත්‍රි ආහාරය සම්බන්ධයෙන් මෙම ආරවුල හටගෙන ඇත. පසුව සිය බිරියගේ ගෙලට පිහි පහරක් එල්ල කර මරණකරුගේ නිවෙසට ගොස් තිබිණි. එම අවස්ථාවේදී මරණකරු ඔහුට සිය නිවෙසින් පිටව යන ලෙස දන්වා ඇත. මෙම පිහි ඇනුමෙන් මියගොස් තිබුණේ මහර නුගේගොඩ, රාගම පදිංචිව සිටි තුවාන් උස්මාන් රහීම් (54) නමැති අයයි. සිද්ධියෙන් තුවාල ලබා රමණී නානායක්කාර, සුරේෂ් අරුණකුමාර යන දෙදෙනා රාගම රෝහලේ ප්‍රතිකාර ලබති. අපරාධය සම්බන්ධයෙන් රාගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon