ක්‍රිකට් සභාපති තනතුර ගන්නට තිලංග සහ අර්ජුන කරළියට

  👤  3385 readers have read this article !
By mawbima 2018-04-23

සිරිනාම රාජපක්‍ෂ


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන මැයි මස 19 වැනිදා පැවැත්වෙන බව මේ වන විටත් ප්‍රකාශයට පත්වී ඇති අතර තමන් යළිත් වරක් සභාපති තනතුර සඳහා ඉදිරිපත් වන බවට වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා දැනටමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනයට අනුව අදාළ නාමයෝජනා භාරගැනීම මේ මස 27දා පස්වරු 4.00න් පසුව අවසන් වීමට නියමිතව ඇතත් වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රතිවාදී අපේක්‍ෂකයන් කවුදැයි තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නොමැත.


කෙසේ වෙතත් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇති බවත් ඒ සඳහා අර්ජුන රණතුංගගේද කැමැත්ත පළවී ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරියකු 'මව්බිම'ට පැවැසීය.


මෑතකදී සිදුකරන ලද ක්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධන හා ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවේ නව සශෝධන අනුව පවත්වන පළමු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මෙය වන බැවින් ක්‍රිකට් සටනට බැස සිටින යම් යම් පාර්ශ්වයන්ට තම කණ්ඩායමේ නාමලේඛන සකස් කිරීමේ කටයුතු ප්‍රමාද වනු ඇතැයිද දැනගන්නට ඇත. එනමුත් සභාපති තනතුරට ස්ථිරවම ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර සිටින තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වයේ නාම යෝජනා භාරදීම බොහෝ දුරට හෙට (24දා) දිනයේ සිදුකරනු ඇතැයි වාර්තා වේ.


මේ මස 25දා සිට 27 දක්වා ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවැත්වෙන අයි. සී. සී. සභාවාරයට සහභාගි වීම සඳහා සුමතිපාල මහතා හෙට රාත්‍රියේ පිටත්ව යෑමට නියමිත බැවින් ඊට පෙර එසේ නාමයෝජනා භාරදීම සිදු කරනු ඇතැයි පැවැසේ. මේ අතර සුමතිපාල මහතාගේ පාර්ශ්වයෙන් මෙවර ඉදිරිපත් කෙරෙන තනතුරු අතර උප සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන තනතුරු තුන දැනට හොබවන පුද්ගලයන්ගේ නම් වෙනස් වන බවද දැනගන්නට ඇත.


මේ අතර නව ක්‍රිකට් සභාපති තනතුර සඳහා තරග වැදීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් වනු ඇතැයිද වාර්තා පළවන අතර ඒ පිළිබඳ විමසූවිට ඔහු 'මව්බිම'ට කියා සිටියේ තමන් සභාපති තනතුරට ඉදිරිපත්වීමට දැනට බලාපොරොත්තුවක් නැති බවත් වත්මන් ක්‍රිකට් පරිපාලනයට එරෙහිව තරග වදින කණ්ඩායමකට සහයෝගය දෙන බවත්ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත හා සාමාජික ක්‍රීඩා සංගම් හා සම්මේලනවලට අදාළව ඡන්ද දායකයන් 147 දෙනකු 19දා පැවැත්වෙන නිලවරණයේදී ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටින අතර ඒ මඟින් ප්‍රධාන තනතුරු 7ක් ඇතුළුව නිලධාරීන් 15 දෙනකු තෝරා ගැනීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon