DIG උසස්වීම් නොදෙන හේතු අද පොලිස්පතිගෙන් අසයි

  👤  3332 readers have read this article !
By mawbima 2018-04-23

චාමර අමරසූරිය


වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරවලට උසස්වීම් දීමට අනුමැතිය ලබාදුන් නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් පත්වීම් ලිපි ප්‍රදානය මෙතෙක් සිදු නොකිරීම සම්බන්ධයෙන් වන තීන්දුව අද (23දා) දින...පැවැත්වෙන ජාතික පොලිස් කොමිෂන් සභා විධායක කමිටු රැස්වීමේදී ගන්නා බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස් දෙනකුට උසස්වීම් සඳහා වූ අනුමැතිය පොලිස් කොමිෂන් සභාව විසින් ඉකුත් මාර්තු මාසයේ ලබා දුන්නද, ඊට අදාළ ඔවුන්ගේ පත්වීම් ලිපි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙතෙක් ප්‍රදානය කොට නොමැති බවද එම ආරංචි මාර්ග පවසයි.


ඊ. යූ. ජයසූරිය, අනුර අබේවික්‍රම, ඩෙවන් සිල්වා, ගාමිණී පෙරේරා සහ පාලිත සිරිවර්ධන යන පස්දෙනාම වහාම ක්‍රියාත්මක වන පරිදි ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ සිට වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරන ලෙසට වූ දුන් අනුමැතිය පොලිස් කොමිෂන් සභා විධායක කමිටුව විසින් ලබාදී තිබිණි.


එහෙත් පොලිස්පතිවරයාගේ පෞද්ගලික හිත් අමනාපකම් මත ගාමිණී පෙරේරා සහ පාලිත සිරිවර්ධන යන අයට පත්වීම් ලිපි ප්‍රදානය නොකර සිටින බවට පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.


ඔවුනට එම පත්වීම් ලබා නොදෙන්නේ මන්දැයි යන්න පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාවද මීට පෙර පොලිස්පතිවරයාගෙන් සහ නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව කරුණු විමසා තිබිණි.


අලුත් අවුරුද්දෙන් පසු ප්‍රථම වරට අද (23දා) දින කැඳවා ඇති ජාතික පොලිස් කොමිෂන් සභා රැස්වීමට පොලිස්පතිවරයාද සහභාගි වීමට නියමිතය.
අදාළ නිලධාරීන් දෙදෙනාට උසස්වීම් ලිපි භාර නොදීමට හේතු අද දිනද පොලිස්පතිවරයාගෙන් පොලිස් කොමිසමේ නිලධාරීන් විමසීමට නියමිතව ඇත.


ඊට සාධාරණ හේතු ඉදිරිපත් කිරීමට පොලිස්පතිවරයා අපොහොසත් වුවහොත් පොලිස් කොමිසමේ බලය ප්‍රකාරව එම නිලධාරීන් දෙදෙනා ඇතුළු නිලධාරීන් පස් දෙනාට අදාළ පත්වීම් ලිපි කොමිෂන් සභාව විසින් නිකුත් කරන බවද එම කොමිෂන් සභා ඉහළ පොලිස් නිලධාරියකු 'මව්බිම' කළ විමසීමකදී පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon