මලල ක්‍රීඩකයන්ගේ ගමනට අයි.පී. හරස් කපයි තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියට මුදල් දීම ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

  👤  3663 readers have read this article !
By mawbima 2018-04-25

සිරිනාම රාජපක්‍ෂ

එළැඹෙන මැයි මස 4දා සිට 7දා දක්වා තායිලන්තයේ පැවැත්වීමට නියමිත විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනකු ඇතුළු කණ්ඩායමක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සැලැසුම් කර ඇතත් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීම ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලදැයි 'මව්බිම'ට වාර්තා වේ. මෑතකදී දක්වන ලද විශේෂ දක්ෂතා මත මලල ක්‍රීඩා සංගමය විසින් තෝරා ගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් අටදෙනකු සමඟ පුහුණුකරුවකු සහ කළමනාකරුවකු ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර ඒ අනුව උක්ත තරගාවලියට අදාළව, වියදම් පිළිබඳව විමසීමේදී ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතා මලල ක්‍රීඩා සංගමයට දන්වා ඇත්තේ මෙම තරග සංචාරයට වියදම් දැරීමට ඔවුන්ට නොහැකි බවයි. ක්‍රීඩා අධ්‍යක්ෂ විජේරත්න මහතා ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගිය වසර ගණනාවක්ම පුරා වාර්ෂිකව මෙම තරගාවලියට සහභාගි වූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර සහභාගිත්වය අවදානමකට ලක්වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන සෑම මහා පරිමාණ ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකටම පෙර පැවැත්වෙන මෙවන් වාර්ෂික විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලියක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීම මෙරට මලල ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අත්‍යවශ්‍ය කටයුත්තකි. ඒ බව සනාථ කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීන් පවසන්නේ රජයේ අය - වැය මඟින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් වාර්ෂිකව වෙන්කරන ලද මුදල් උපයෝගි කරගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෑම ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියක් සඳහාම සහභාගි කරවීම මීට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය පුරුද්දක් ලෙස සිදු කළ බවයි.

ක්‍රීඩා අධ්‍යක්ෂවරයකු වන අයි.පී. විජේරත්න මහතා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වීමට නියමිත ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ප්‍රතිපාදන ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් පසුගියදා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී නිමාවට පත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ගොස් දීර්ඝ නිවාඩුවක් ගත කළ බොහොමයක් ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් අතර විජේරත්න මහතාද විය.

ඒ සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම කළමනාකරණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට පැවැරී තිබූ අතර විජේරත්න මහතා වැනි නිලධාරීන්ට කිසිදු නිල රාජකාරියක් ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැරී නොතිබූ බවද දැනගන්නට ඇත. තවද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද අමාත්‍යාංශයෙන් ඉවත්ව ගොස් සිටියදී මෙවන් නිලධාරීන් ක්‍රීඩා උළෙල නිම වී තවත් දින කිහිපයක්ම ඕස්ට්‍රේලියාවේ නිවාඩු ගත කරන්නට සලස්වා ගත්තේය.

එවන් ආකාරයෙන් රජයේ මුදල් යොදා ගනිමින් නිවාඩු ගත කරන්නට මෙවන් නිලධාරීන් ක්‍රීඩා උළෙල සංචාර ලෙස යොදා ගනිද්දී ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා අනාගතයට උරදෙන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග සංචාරය සඳහා අසාධාරණ ලෙස මුදල් ප්‍රතිපාදන වෙන් නොකරන්නේ මන්ද? යන්න නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ දැඩි අවධානයට ලක්විය යුතුය. කෙසේ වෙතත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන්ගේ ක්‍රියා පිළිවෙත ගැන හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයාගේද දැඩි දෝෂදර්ශනයට ලක්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සමන් බණ්ඩාර මහතා මාරු කර යැවීමට කටයුතු යෙදූ නමුත් අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතා සහ ආර්.බී. වික්‍රමසිංහ වැනි නිලධාරීන් තවදුරටත් රැඳී සිටීමට සමත් වූ බව ඒ පිළිබඳව පවසන අමාත්‍යාංශ සේවකයන්ගේද මතයයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon