අන්තර් පළාත් සිවුදින සුපිරි ක්‍රිකට් තරගාවලියේ ‘දඹුල්ල’ තරගයක් දිනුවත් ශූරතාව ගාල්ලට

  👤  3633 readers have read this article !
By mawbima 2018-04-25

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් පළාත් සිවුදින සුපිරි ක්‍රිකට් තරගාවලියේදී දඹුල්ල කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 5ක ජයක් ලබන්නට දඹුල්ල කණ්ඩායම ඊයේ සමත් වූ අතර එය තරග 6කින් සමන්විත මෙම සිවුදින සුපිරි ක්‍රිකට් තරගාවලියේදී වාර්තා වූ එකම ජයග්‍රහණයයි.

රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේ අවසාන දිනය වූ ඊයේ තරගය ආරම්භ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි දඹුල්ල කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 43ක් ලබා ගෙන සිටි අතර ජයග්‍රහණය සඳහා ලකුණු 203ක ඉලක්කයක් හඹා යමින් සිටියේය. ඒ සඳහා අවශ්‍යව තිබුණු ඉතිරි ලකුණු 160 කඩුලු 5ක් වැය කරමින් ලබාගන්නට දඹුල්ල පිතිකරුවන් සමත් විය. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 62ක් හා සචිත්‍ර සේරසිංහ ලකුණු 55ක් වාර්තා කළ අතර පන්දු යැවීමේදී තික්ෂිල ද සිල්වා ලකුණු 53කට කඩුලු 3ක් බිඳ හෙළීය.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ අනෙක් තරගය ලෙස ඊයේ සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු ගාල්ල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ අවසන් දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහනුවර කණඩායම කඩුලු 3ක් දැවී ලකුණු 363ක් රැස් කරගෙන සිටියේය.

දිනය ආරම්භයේදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාල්ල කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 298ක් රැස් කරගෙන සිටි අතර ලකුණු පුවරුව කඩුලු 9කට ලකුණු 306ක් වන විට ඉනිම අත්හිටුවන්නට තීරණය කළේය. ජයග්‍රහණය සඳහා ලකුණු 547ක් හඹා යන්නට දෙවෙනි ඉනිමට පිටියට පිවිසි මහනුවර කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 183ක් ඉතිරිව තිබියදී තරගයේ අවසන් දිනයේ නිමාව සටහන් විය. මහනුවර කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 188ක් රැස් කිරීම කැපී පෙනුණි. චරිත් අසලංක ලකුණු 62ක් හා නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 56ක් රැස් කළහ. පන්දු යැවීමේදී නිසල තාරක, නිශාන් පීරිස් හා ළහිරු මිලන්ත අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.

තවද මෙම තරගාවලියේදී ඉනිම 5කදී ශතක දෙකක් සමඟින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන්නට ගාල්ල කණ්ඩායමේ රොෂේන් සිල්වා සමත් වූ අතර එම කණ්ඩායමේම නිසල තාරක කඩුලු 11ක් බිඳ හෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය.

කෙසේ වෙතත් අවසන් ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 38.03ක් ලබා ගාල්ල පෙරමුණ ගත් අතර දෙවැනි තැන ලකුණු 35.55ක් හිමිකරගත් දඹුල්ල පිලට ලැබිණි.

ජායාරූපය- නුවන් අමරවංශ

ලකුණු සාරාංශය
කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය

කොළඹ පළමු ඉනිම _ 210
දඹුල්ල පළමු ඉනිම - 359
කොළඹ දෙවැනි ඉනිම - 351
(ෂෙහාන් ජයසූරිය 77, ළහිරු තිරිමාන්න 52 වනිඳු හසරංග 52, ජෙෆ්රි වැන්ඩසේ 101/4, සචිත්‍ර සේනානායක 78/2)
දඹුල්ල දෙවැනි ඉනිම _ 205/5
(කුසල් මෙන්ඩිස් 62, සචිත්‍ර සේරසිංහ 55, මනෝජ් සරච්චන්ද්‍ර නොදැවී 27, තික්ෂිල ද සිල්වා 53/3)

ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර තරගය

ගාල්ල පළමු ඉනිම _ 425
මහනුවර පළමු ඉනිම _ 185
ගාල්ල දෙවැනි ඉනිම - 306/9
(උපුල් තරංග 103, රොෂේන් සිල්වා 89, නිසල තාරක 18, චාමික කරුණාරත්න 63/5)
මහනුවර දෙවැනි ඉනිම _ 363/3
(පැතුම් නිස්සංක නොදැවී 188 , චරිත් අසලංක 62, නිරෝෂන් දික්වැල්ල නොදැවී 56, නිසල තාරක 37/1)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon