නැන්දම්මාට පහරදී ඝාතනය කළ බෑනා නිවෙසේ බාල්කයේ එල්ලී දිවි නසාගෙන

  👤  3647 readers have read this article !
By mawbima 2018-04-25

ඇල්පිටිය - ගයාන් ගුණසේකර, බළපිටිය - දම්සරී ලියනගේ

ඇල්පිටියේ පිහිටි සිය නිවෙසේදී ඊයේ (24දා) සවස නැන්දම්මාට පහරදී නැන්දම්මා ඝාතනය කළ බෑනා කෙනකු ඊට ස්වල්ප වේලාවකට පසු සිය නිවෙසේ බාල්කයක එල්ලී සියදිවි නසාගෙන තිබේ. නිර්ණාමික දුරකතන ඇමතුමකින් ලැබුණ තොරතුරු මත ඇල්පිටිය පොලිසිය මෘත දේහයන් සොයාගෙන තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ නො. 24, විජය මාවත, ඇල්පිටිය ලිපිනයේ පදිංචිව සිටි වරාහේන ලියනගේ ලීලාවතී නමැති අසූපස් හැවිරිදි කාන්තාවකි. සියදිවි නසාගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ බෑනා වන එම ලිපිනයේම පදිංචි ජගත් කීර්ති අබේසේකර (45) නමැත්තායි.

බෑනා විසින් සියදිවි නසා ගැනීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් ලිපියක් ලියා ඇති අතර නැන්දම්මාගේ මරණය අත්වැරදීමකින් සිදුවූවක් බව එහි සඳහන් කර ඇත. දිගු කාලීනව නැන්දම්මා සමඟ ආරවුල් තිබූ බවත් සිය පවුලේ සමඟියට නිතර නිතර නැන්දම්මා නිසා බාධා එල්ල වූ බවත් එම ලිපියේ සඳහන් කර තිබේ. එම අවස්ථාවේ ඇති වූ කෝපය නිසා නැන්දම්මාට පහර දුන් බවත් ඝාතනය කිරීමේ චේතනාවකින් පහර නොදුන් බවත් ඝාතනය සම්බන්ධයෙන් සමාව ලබාදෙන ලෙසත් සියදිව නසාගත් අය එම ලිපියෙන් ඉල්ලා තිබූ බවත් ඇල්පිටිය පොලිසිය කියයි.

දෙදෙනාගේම මෘත දේහයන් ඊයේ (24දා) සවස් වන විටත් නො, 24, විජය මාවත, ඇල්පිටිය, ඔවුන් පදිංචිව සිටි නිවෙසේ සිද්ධිය වූ ස්ථානයන්හි තිබූ අතර ඇල්පිටිය මහෙස්ත්‍රාත්වරයා විසින් ඊයේ (24දා) සවසම මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි. එයින් පසු මෘත දේහයන් වෛද්‍ය පරීක්‍ෂණය සඳහා ඇල්පිටිය මූලික රෝහල වෙත ගෙන යෑමට නියමිත බව ඇල්පිටිය පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඝාතනයට ලක්වූ කාන්තාව, සිය දියණිය, ඇයගේ ස්වාමි පුරුෂයා වන සියදිවි නසාගත් බෑනා ඇතුළු පවුලේ අය එකම නිවෙසක ජීවත්වන බවද ඇල්පිටිය පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කෙළේය.

ඊයේ (24දා) පෙරවරුවේද නැන්දම්මා හා බෑනා අතර ජංගම් දුරකතනයක් සම්බන්ධයෙන් ආරවුලක් ඇතිවී තිබේ. බෑනාගේ ජංගම දුරකතනය අස්ථාන ගතවීමක් සම්බන්ධයෙන් මෙම ආරවුල ඇතිවී තිබේ. පසුව බෑනා විසින් නැන්දම්මාට පහර කිහිපයක් එල්ල කර ඇති අතර එයින් පසු නැන්දම්මා නිවෙසේ ඇඳ උඩම මියගොස් ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. නැන්දම්මා මිය යෑමෙන් පසු එම නිවෙසේම වෙනත් කාමරයක බාල්කයක කඹයකින් එල්ලී බෑනා සියදිවි නසාගෙන තිබූ බව ඇල්පිටිය පොලිසිය කියයි.

ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක අජිත් ප්‍රසන්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon