බදු බරින් මිරිකෙන ලේඛක ලේඛිකාවනට අපේ ආණ්ඩුවක් එනතුරු ඉවසන්න වෙනවා

  👤  3678 readers have read this article !
By mawbima 2018-04-25

ඉදිරියේදී පත්වන තම ආණ්ඩුව යටතේ වත්මන් ආණ්ඩුව ගෙන ආ දේශීය ආදායම් පනත සංශෝධනය කර ව්‍යාපාරිකයන්ට සහ පාරිභෝගිකයන්ට සහන ලබාදීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ අංශයේ ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

ඉදිරියේදී මම බිහි කරන ආණ්ඩුවක් යටතේ රටවාසීන්ට විශාල බදු සහන ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කරන බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා පැවැසීය.

බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවැසුවේ ඊයේ (24දා) කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

''පාර්ලිමේන්තුවේ සම්මත කළ දේශීය ආදායම් පනත අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වෙනවා. මේ නිසා අනාගතයේදී විශාල වශයෙන් බදු ගෙවන්නට අපට සිදු වෙනවා. මේ පනත නිසා ඇති වෙන්නේ බදු බැඳියාවකුයි. මේ නිසා ව්‍යාපාරිකයන් යම් දෙයක් කුලියට ගන්නවා නම් ඒ කුලී පදනම මතත් බදු ගෙවන්නට සිදුවෙනවා. වාර්ෂිකව හෝ මාසෙන් මාසෙට මෙම බදු ගෙවීම කරන්නට සිදු වෙනවා. අලුත් බදු නීතිය යටතේ, කුලිය ගෙවන තැනැත්තා විසින් 10%ක් අඩු කරගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවිය යුතුයි.

උදාහරණයක් විදියට කොළඹ නගරයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක් මසකට රුපියල් ලක්‍ෂයක් ගොඩනැඟිල්ල අයිතිකරුට ගෙවනවා නම් දැන් ගෙවන්න වෙන්නේ රුපියල් 90,000ක්. කුලියට ගත්ත කෙනාටයි මේ ගණනත් ගෙවන්න වෙලා තියෙන්නේ. ඒක අපූරු නීතියක්. මෙය රටේ ව්‍යාපාර විශාල ප්‍රමාණයකට බලපාන දෙයක්. අති බහුතරයක් ව්‍යාපාරික ප්‍රජාව මේ පිළිබඳව දැනුවත් නෑ. කිරි ගොවියන්ටත් අද මේ ප්‍රශ්නය බලපානවා.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ මෙවැනි බදු ජනතාවට පැනවූයේ නෑ. අවසානයේ මේ කුලිය ගෙවන්නට සිදුවෙලා තිබෙන්නේ පාරිභෝගිකයාටයි. මේ කුලිය ඉහළ යෑම නිසා භාණ්ඩවල මිලද ඉහළ නැඟිය හැකියි. මේ නව බද්ද පිළිබඳව මේ රටේ ජනතාව වගේම ව්‍යාපාරික ප්‍රජාවත් දැනුවත් විය යුතුයි. නමුත් පුවත්පත් දැන්වීම්වල තියෙන්නේ මේ බදු පනතින් ජනතාවට කිසිදු හානියක් වෙන්නේ නැහැ කියලයි. නමුත් එය වැරැදි අදහසක්. බදු ගෙවන අය නොමඟ යවන තත්ත්වයකුයි මුදල් අමාත්‍යාංශය පුවත්පත් දැන්වීම් දමා ඇති කර තිබෙන්නේ.

ගොවීන් තමන්ගේ කටයුතු කර ගැනීම වෙනුවෙන් විවිධ යන්ත්‍ර කුලියට ගන්නවා. ඒ වෙනුවෙනුත් බදු ගෙවන්න වෙනවා. ළිඳක් ඉහින්න මෝටරයක් කුලියට ගන්නවා නම් ඒකටත් බදු ගෙවන්න වෙනවා. නමුත් ජනතාව මේ පිළිබඳව දැනුවත් නෑ. කුලියෙන් බද්ද අය කරන ක්‍රමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගත යුතුයි.'' මුදල් අමාත්‍යාංශය,

''ග්‍රන්ථකරණය වෙනුවෙන් විශාල බදු සහන මහින්ද රාජපක්‍ෂ යුගයේදී ලබා දුන්නා. නමුත් අප්‍රේල් 01 වැනිදා සිට සියලුම ග්‍රන්ථකරණයේ යෙදෙන පිරිස් 14%ක් රජයට බදු ගෙවිය යුතුයි. නව කතා, කෙටිකතා, චිත්‍රකතා, මොන කතා ලිව්වත් 14%ක් බදු ගෙවන්න වෙනවා. කටකතා පමණයි බද්දෙන් නිදහස් වෙලා තිබෙන්නේ. ජාතක කතා ලියන්නත් ආණ්ඩුවට බදු ගෙවන්න වෙනවා. ලියන කියන මහත්වරු වහාම මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

එදා බදු සහන දුන්නු මහින්ද රාජපක්‍ෂ මහත්තයාට විරුද්ධව කොච්චර පොත් ගහන්න ඇතිද? නමුත් එතුමා කාටවත් බදු ගැහුවේ නෑ. ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ. අද ආණ්ඩුව විවේචනය කරලා කෘතියක් සම්පාදනය කළොත් ඒකටත් ලියුම්කරුට බදු ගෙවන්න සිදු වෙනවා. ආණ්ඩුවේ ගුණ ගායනා කරලා පොතක් ලිව්වොත් ඒකටත් බදු අය කරයිද කියන දෙය ප්‍රශ්නයක්. ග්‍රන්ථ කර්තෘවරු ඇතුළු නිර්මාණ ශිල්පීන්ට මේ ඇතිවී තිබෙන බදු බර පිළිබඳව සංවාදයක් ඇති කරගත යුතුයි. අපි කියන්නේ අලුතෙන් පොත් ලියන අයට අපේ ආණ්ඩුවක් එනතුරු ඉවසන්න කියලයි.''

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායා - අමිත තෙන්නකෝන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon