ඉඩම් ආරවුලකට බහින්බස් වී අයියා දුන් උදලු පහරින් නංගී මරුට

  👤  3632 readers have read this article !
By mawbima 2018-04-25

මොනරාගල - සංජීව බණ්ඩාර

බිබිල දියකොබල උඩමල්ලැහැබ ප්‍රදේශයේදී පෙරේදා (23දා) පස්වරුවේ හතළිස් අට හැවිරිදි කාන්තාවකගේ මුහුණට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි බිබිල පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු මෙම මියගිය කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා බව අනාවරණය වී ඇත.

ඔහු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන ක්ෂේත්‍ර සහායකයකු බව අනාවරණය වී තිබේ. සැකකරුගේ පහරදීම නිසා ඝාතනයට ලක්ව ඇත්තේ බිබිල දියකොබල පදිංචි හේරත් මුදියන්සේලාගේ කුසුමාවතී නමැති 48 හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාව කුඹුරට යමින් සිටියදී සැකකරු සමඟ ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් ඇගේ වැඩිමහල් සහෝදරයා වන මෙම සැකකරු එම කාන්තාව ළඟ තිබූ උදැල්ලක් ගෙන ඇගේ මුහුණට පහරදී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී ආනාවරණය වී තිබේ.

සිද්ධියෙන් කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇත.
පසුව සැකකරු පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම ඝාතනයට හේතුව ඉඩම් ආරවුලක් බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් සැකකරු ඊයේ (24දා) බිබිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි. මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක යන මහතුන්ගේ උපදෙස් හා නියෝග මත බිබිල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. බී. වෙදගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon