සිංහලයා ගුණාත්මක අවදානමකට මුහුණ පාලා

  👤  3893 readers have read this article !
By mawbima 2018-04-25

'මුස්ලිම්වරුන් මෙරට මහ ජාතිය වන බව කීම පල් බොරුවක්' හිසින් පසුගිය මාර්තු 21 වැනිදා 'මව්බිම' පුවත්පතෙහි ලිපියක් මවිසින් පළ කළෙමි. එම ලිපියට එකී මාතෘකාව යොදා ඇත්තේ පුවත්පත විසින් වන අතර ඇත්තෙන්ම එහි මාතෘකාව ලෙස මා යොදා තිබුණේ 'සිංහලයා වඳවීම' යනුවෙනි. එම ලිපියට පිළිතුරු ලිපියක් දෙනගම ධම්මික රණවීර මහතා විසින් පසුගිය අප්‍රේල් 18දා පුවත්පතේ පළකොට තිබිණි. එහිදී මගේ ලිපියට යොදා තිබූ මාතෘකාව ඒ මහතාගේ පිළිතුරු ලිපියේ මුඛ්‍ය තේමාව කොටගෙන තිබූ බවත් පෙනෙයි.

"මුස්ලිම්වරුන් මෙරට මහ ජාතිය වන බව කීම පල් බොරුවක්" වැනි මාතෘකාවක් මවිසින් යොදන්නට ඉඩ නොමැත්තේ වසර පන්සියයකින් හෝ ඊටත් එපිට අනාගතයකදී යම් රටක හෝ සමාජයක බහුතරය වන්නේ කිනම් ජනවර්ගයද යන කාරණය අරබයා අනාවැකි කීමට හෝ පුරෝකථන ඉදිරිපත් කිරීමට අපට නොහැකි බැවිනි. මක්නිසාද දියුණු ලෝකයේ රටවල් දෙස බැලීමේදී එම රටවලට (ලෝකයේ වෙනත් රටවලින්) සිදුවන සංක්‍රමණ හේතුවෙන් වේගයෙන් වාර්ගික සංයුතිය වෙනස් වෙමින් ඇති බැවිනි.

අපේ රටට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් නොමැති බැවින් හා පුරවැසිභාවය ලබා ගැනීම අසීරු බැවින් රට තුළට සංක්‍රමණය වීමෙන් ජන සංයුතිය වෙනස් කිරීමේ විභවයක් නොමැත. එහෙත් අපේ රටවැසියන් වෙනත් දියණු රටවලට සංක්‍රමණය වීම ක්‍රමානුකූලව ඉහළ යමින් පවතී. එම තත්ත්වය විසින් අපේ රටේ වාර්ගික සංයුතිය යම් තරමකින් දුර අනාගතයේදී වෙනස් කරනු ඇතැයි අනුමාන කළ හැකිය.

ට්‍රම්ප් පාලනය බිහිවීමට ප්‍රථම එක්සත් ජනපදය "ග්‍රීන් කාඩ්" ප්‍රදානය තුළින් පමණක් වසරකට ලෝකවාසීන් 50,000කට එරට පුරවැසි භාවය ලබා ගැනීමට අවස්ථාව ලබා දුනි. ඇත්තෙන්ම අපේ රටේ සිංහල හා දෙමළ ජාතිකයන් යුරෝපයට, ඇමෙරිකාවට, කැනඩාවට, ඕස්ට්‍රේලියාවට හා ස්කැන්ඩිනේවියානු රටවලට සංක්‍රමණය වීමෙන් ඒ රටවල වාර්ගික සංයුතිය වෙනස් කරමින් ඇත. එම රටවල ප්‍රධාන ජනවර්ග, තම ජනවර්ගය මෙම සංක්‍රමණ හේතුවෙන් අවදානමට ලක්ව ඇතැයි බියපත්ව එකී සංක්‍රමණික ප්‍රජාවන් හට තර්ජනය කරන්නේ නැත. රණවීර වැනි අය ගණනය කරන පරිදි 'භූමි පුත්‍ර ඕස්ට්‍රේලියානුවන්' ද සිය රටට සංක්‍රමණයවී සිටින සිංහලයන්ගේ හෝ දෙමළ අයගේ ජනගහන වර්ධනය 200% හෝ 300% ලෙස ගණනය කොට ඔවුන්ට එරෙහිව එදිරිවාදී මානසිකත්වයක් කුළුගන්වන්නේ නැත.

කෙසේ වුවද රණවීර මහතා විසින් සංඛ්‍යාන සාක්‍ෂරතාව නොමැති හුදී පාඨකයා නොමඟ යවන ඉලක්කම් කීපයක්ම තම ලිපියට අඩංගු කොට තිබිණි. උදාහරණ වශයෙන් "මේ අතර වැඩිම ජනගහන වර්ධනයක් පෙන්නුම් කරන්නේ සිංහල ජනතාව බහුතර ලෙස ජීවත් වන දිස්ත්‍රික්කවල නොවේ. වැඩිම ජනගහන වර්ධන වේගය වවුනියාව දිස්ත්‍රික්කයේය. එය 1.97%ක ප්‍රතිශතයකි. ඊළඟට අම්පාරේය. එය 1.68%ක ප්‍රතිශතයකි. ඒ ආකාරයට සිංහල නොවන පිරිස් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශවල ජනගහන වර්ධන වේගය වැඩිවී ගොස් තිබේ". ලෙස ඒ මහතා සඳහන් කොට තිබිණි. ජනගහන අඩු දිස්ත්‍රික්කයක කුඩා ජනගහන වර්ධනයක් විසින් වුව ප්‍රතිශතාත්මක අගය විශාල කොට දැක්විය හැකිය. එනිසා එවැනි නිගමනයක් තුළින් නිවැරැදි චිත්‍රය පෙන්නුම් නොකරයි. අනෙක් අතට පැවැති යුද වාතාවරණය හේතුවෙන් කිලිනොච්චියෙන් හා මුලතිව්වලින් වවුනියාවට සරණාගතයන් ලෙස සංක්‍රමණය වූ විශාල පිරිසක් එහි සිටියහ. කොටින්ම එවකට වවුනියාවේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සිටි (සිංහල) පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 14,000ක් පමණ විය සාමාන්‍ය පදිංචිය යන සංගණන අර්ථ දැක්වීම යටතේ ඔවුන්ද එම දිස්ත්‍රික්කයේ ජනගහනයට ඇතුළත් විය එනිසා සන්දර්භයෙන් වියුක්ත කොට තමන්ට අවශ්‍ය අර්ථකථනය නිරූපණය කරන අයුරින් ඉලක්කම් නිර්මාණය කිරීම ශිෂ්ට සම්පන්න නොවේ.

මෙවැනි ව්‍යතිරේක නිසා මෙන්ම ජනගහනයට බලපාන සාධක වන උපත් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව (යුද්ධයෙන් හා 88-89 කැරලි සමයේ සිදුවූ මරණ ද සලකා) හා සංක්‍රමණ (යුද සරණාගතයන් ද ඇතුළත්ව) යන පරාමිතීන් තවත් අනුපූරක සාධක සමඟ ගැට ගැහෙන බැවින් මෙවැනි සංසන්දනයක් සඳහා සුදුසුම ඉලක්කම වනුයේ ජනගහන දත්ත ඇසුරින් විග්‍රහ කර බැලීමයි. සියලු සාධකවල අවසාන ප්‍රතිඵලය සමස්ත ජනගහනයයි. ඒ සඳහා පහත වගුව ඉදිරිපත් කරමි.

ඒ මහතා මෙසේද කියයි.

"ජනවර්ගය වැඩිම මුළු සාඵල්‍යතා අනුපාතයක් හෙවත් සජීවී උපත් 3.3ක් වනවිට එය සිංහලයන්ගේ 2.3දක්වා අඩුවී තිබෙන බවක්ද පෙන්නුම් කෙරේ."

ඒ ප්‍රකාශය සත්‍යයකි. මුස්ලිම් ප්‍රජාව තුළ දරු උපත් සංඛ්‍යාව සාපේක්‍ෂව තරමක් ඉහළ බව ප්‍රතික්‍ෂේප කරන කිසිවකු නැත. එහෙත් ඒ සමාජය තළ පවා එම ප්‍රවණතාව අඩුවෙමින් ඇත. (අවසන් වගුව බලන්න)

තම ජනවර්ගය ප්‍රමාණාත්මකව ඉහළ නංවා ගැනීමේ අන්තවාදී වුවමනාවක් ඇති අය ඒ සමාජයේ සිටිය හැකිය. එහෙත් ලෝකයේ ප්‍රගතිය උදෙසා පැවැතිය යුතු ප්‍රවණතාවට ප්‍රතිපක්ෂ ගමනක් තුළින් ඒ ජනවර්ගයට සමාජයට ප්‍රගතියක් අත්නොවනු ඇත. මූලධර්මවාදී සෞදි අරාබිය පවා අද යහපත් දිසාවට වෙනස් වෙමින් ඇත. ඒ තත්ත්වය ඉදිරියට පවත්වා ගැනීම ලෝකයේ වගකීමකි. අන්තවාදයට යටවූ මුස්ලිම් සමාජය ව්‍යසනයට ඇද වැටී ඇත. ඒ කාරණය තේරුම් ගැනීම තුළින් වුව රණවීර වැනි අයගේ මානසික ව්‍යාධියට පිළිතුරක් ඇත. අනෙක් අතට රට තුළ සිංහල ජනගහනය ක්‍රමක්‍රමයෙන් වැඩිවී ඇත්නම්, සෙසු දියුණු රටවල සිංහල ප්‍රජාව ව්‍යාප්ත වෙමින් ඇත්නම් සිංහලයා අවදානමකට පාත්‍රවී ඇත්තේ කෙසේද යන්න පහදා දීම වටී.

ඔහු මගේ ලිපියේ ඉදිරිපත් කර ඇති දේවලට මෙසේ අර්ථ දක්වා ඇත. "තමන් තර්ක කරන කරුණ වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම පසෙක තබා පල්හෑලි ලිපිය පුරා ඔබන්නටද ඔහු කටයුතු කර තිබේ. පල්හෑලිවලට උත්තර දෙනවා වෙනුවට විෂය කරුණු දැක්වීමට අදහස් කළෙමු."

මගේ පල්හෑලි කිහිපයක් යළි මෙසේ අවධාරණය කිරීමට අදහස් කළේ පාඨකයාට ඒ කරුණු මතකයෙන් ගිලිහී ගොස් තිබිය හැකි බැවිනි.

'අපි වැඩි කරගත යුත්තේ සිංහල ඔළුගෙඩි සංඛ්‍යාව නොව කුමන ජනවර්ගයේ වුව යහපත් මිනිසුන් සංඛ්‍යාවයි. ජනගහන සංයුතිය දෙස අප උනන්දු විය යුත්තේ ජනවර්ගය මිනුම්දණ්ඩ ලෙස ගෙන නොව ගුණාත්මක මිනිසා යන මිනුම්දණ්ඩ පදනම් කරගෙනයි. කෙසේ වුවත් සිංහල සමාජය තුළ තම ජනවර්ගය ප්‍රමාණාත්මකව 'අවදානමකට' මුහුණපා ඇතැයි යන බිය පදනම් විරහිතය. එහෙත් තම ජනවර්ගය ගුණාත්මකව අවදානමකට මුහුණපා ඇතැයි යන යථාර්ථය නම් තේරුම් ගෙන නැත. නිර්භීත හා ඥානාන්විත අයකු නම් අවදානමක් අරබයා බියවිය යුත්තේ ප්‍රමාණාත්මක මිනුම් මත නොව අභියෝගයේ ඇති ගුණාත්මක අවදානම පදනම් කොටගෙනයි."

රණවීර වැන්නන්ට අවශ්‍ය වාර්ගික ආතතිය තවදුරටත් පවත්වා ගැනීම සඳහා සිංහල ජනවර්ගය තුළ 'අවදානම' පිළිබඳ බියක් නඩත්තු කරගෙන යෑමයි. පෙර ලිපියේ මා වාර්ගිකත්වය අනුව උපත් සංඛ්‍යාව ඉදිරිපත් කළේ 2004, 2007 හා 2010 වසර සංසන්දනය කරමිනි. එම වගුවටත් වඩා මා ඉදිරිපත් කරන ප්‍රවණතාව නිරූපණය කරනුයේ මෑත ආසන්න වර්ෂ සඳහා වන එම සංඛ්‍යාලේඛන විසිනි. ඒ අලුත් වගුව පහත දක්වමි. මේ අරභයා විශේෂ විග්‍රහයක් අවශ්‍යවේ යැයි නොසිතමි. සැබැවින්ම රණවීර මහතා අවලංගු වන ආකාරය මේ තුළින් විදහා දක්වයි.

තාරක වරාපිටිය

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon