බිලිඳා මරා ගෙල වැල ලා ගත් මවගේ ශෝකාන්තය ‘අම්මා මිය ගිය පසු අක්කා සිටියේ දැඩි සිත් තැවුලෙන්’

  👤  3843 readers have read this article !
By mawbima 2018-04-25

තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හබරකඩ ඇළ ඉහළ ප්‍රදේශයේ නිවෙසක පදිංචිවී සිටි තිදරු මවක් තම බාල පිරිමි දරුවා මරා ඇයද නිවෙසේ බාල්කයක එල්ලී ගෙල වැලලා ගැනීමේ සිද්ධියක් හේතුවෙන් ඇළ ඉහළ ගම්මානයම මහත් කම්පාවට පත්ව තිබිණි. මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වූයේ ඇළ ඉහළ සමඟි මාවත ප්‍රදේශයෙනි.

ඉලන්දාරි දේවගේ නයනා නමැති තිස් දෙහැවිරිදි කාන්තාවක් මෙසේ තම කුඩා දරුවාද මරාදමා සියදිවි නසාගෙන තිබිණි. මරාදමා තිබුණේ මාස දහයක් වයසැති තිසෙත් දිල්කි නිම්සර නමැති ඇයගේ බාලම දරුවාය.

සියදිවි නසාගෙන ඇති කාන්තාවගේ ස්වාමි පුරුෂයා වෘත්තියෙන් පෙදරේරු කර්මාන්තයේ යෙදෙන්නෙක් වන අතර වැඩිමහල් දරුවන් දෙදෙනා හත් හැවිරිදි සහ දහතුන් හැවිරිදි වියේ පසුවෙති. ඔවුන් දෙදෙනා යට්ටපාත කනිටු විදුහලේ ඉගෙනුම ලබයි. සිද්ධිය සිදුවන අවස්ථාවේ ස්වාමිපුරුෂයා රැකියාවට ගොස් සිට ඇති අතර වැඩිමහල් දරුවන් දෙදෙනා පාසල් ගොස් සිට ඇත.

නිවෙසේ මුළුතැන්ගෙයි බාල්කයක එල්ලෙමින් තිබුණු සියදිවි නසාගත් කාන්තාවගේ මළ සිරුර සහ මරාදමන ලද කුඩා දරුවාගේ මළ සිරුර මුලින්ම දැක ඇත්තේ අසල්වැසි නිවෙසක පදිංචි ගංගා කුමාරි නමැති මියගිය කාන්තාවගේ ඥාතිවරියකි. ගංගා කුමාරි මහත්මිය සිදුවීම විස්තර කරන්නේ මෙසේය.

"නයනා අක්ක මගේ පවුලේම කෙනෙක්. සිද්ධිය සිදුවෙන්න පැය භාගෙකට විතර කලින් එයා දරුවත් වඩාගෙන අපේ ගෙදර ආවා. මාත් එක්ක ගොඩක් වෙලා කතා කරමින් ඉඳල දරුවට බත් කවන්න තියෙනවා කියල ගෙදර ගියා. ඊට ටික වෙලාවකට පස්සේ මං වතුර එකක් ගේන්න ගියේ ඒ මිදුල උඩින්. මං "අක්කේ" කියල කතා කළාට කවුරුවත් කතා කළේ නෑ. කිසි සද්දයක් නැති නිසා මම ගෙට ගියා. ‍ෙදාර ඇරලා තිබුණේ. කවුරුත් පේන්න නොසිටි නිසා මං කාමරේට ගිහින් බැලුවා. දරුවා ඇ‍ෙ¼ද් හාන්සි වෙලා හිටියා. ඒත් හුස්ම වැටෙනව ඇහුණෙ නෑ. මං දරුවගෙ ඇඟට අත තියල බැලුවා. ඇඟ සීතල වෙලා තිබුණා. මට හොඳටම බය හිතුණු නිසා අක්කේ කියල කෑගහගෙන මං කුස්සිය පැත්තට දිව්වා. එතකොට දැක්කා වහලෙ බාල්කෙක අක්ක රෙද්දකින් එල්ලිලා ඉන්නවා. මං එළියට ඇවිත් කෑගැහුවා. ඊට පස්සෙ ගමේ කට්ටිය දුවගෙන ආවා."

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන රවීන්ද්‍ර තුඩුවගේ (38) පවසන්නේ තම බිරියට සියදිවි නසා ගැනීමට තරම් ගැටලුවක් නොතිබුණු අතර බිරියගේ මව මියගිය දින සිට සුළු මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන බවයි. ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබාගත් බවද එය බරපතළ මානසික ආබාධ තත්ත්වයක් නොවන බවද ඔහු පවසයි.

ගෙල වැලලා ගැනීමට යොදාගත් චීත්ත රෙද්ද බාල්කයේ ගැටගැසීම සඳහා යොදා ගත් ඉණිමගද බිත්තියකට හේත්තු කර තිබෙන ආකාරය දක්නට ලැබිණි.
සියදිවි නසාගත් කාන්තාවගේ මෑණියන් මීට මාස හයකට පමණ පෙර මියගොස් ඇති අතර මවගේ වියෝවෙන් පසුව මෙම කාන්තාව දැඩි සිත්තැවුලකින් පසුවූ බවත් දිවි නසා ගැනීමට සිතෙන බව පවසා ඇති බවත් අසල්වැසි නිවෙස්වල පදිංචිකරුවන් අනාවරණය කරයි.

මෙම පවුලේ සාමාජිකයන් ඉතා සමඟි සම්පන්නව කල්ගත කළ අතර කිසිදු විටක පවුලේ අඬදබර ඇතිවූ බවක් වාර්තාවී නැති බවත් මවගේ වියෝව නිසා ඇතිවී තිබුණු මානසික ව්‍යාකූල තත්ත්වය මෙම අවාසනාවන්ත සිදුවීමට අවශ්‍ය පසුබිම සකස් කරන්නට ඇති බවත් අසල්වාසීන් ලබාදුන් තොරතුරුවලින් සනාථ වෙයි.

සියදිවි නසාගත් මවගේ සහ මරා දමා ඇති කුඩා දරුවාගේ මරණ සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය උඩුගම මහෙස්ත්‍රාත් නිලන්ති හේමමාලා හාල්පන්දෙණිය මහත්මිය විසින් පෙරේදා (23දා) සවස සිද්ධිය වූ ස්ථානයේදී පැවැත්වූ අතර දරුවාගේ ගෙල සිර කිරීමෙන් මෙම මරණය සිදුකරන්නට ඇතැයි සැක කෙරේ.

මෙම මරණ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (24දා) ගාල්ල කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. හිනිදුම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර පිටිගල මහතා සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ මෙහෙයවයි.

තවලම - සමන් ජී. ලියනාරච්චි,
හිනිදුම - කෝරලේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon