ජනතාවට වගකියන කැබිනට් මණ්ඩලයක් පත් කරනවා ජනපති

  👤  3677 readers have read this article !
By mawbima 2018-04-25

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ඕනෑම කෙනකු කැබිනට් මණ්ඩලයට පත් කිරීම සුදුසුද? නුසුදුසුද? යන්න සොයා බැලීම තම වගකීම බැවින් ජනතාවට වගකියන කැබිනට් මණ්ඩලයක් පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

කැබිනට් අමාත්‍ය පදවිවලට පුද්ගලයන් පත් කිරීමේදී රට තුළ පවතින තත්ත්වය පිළිබඳව පමණක් නොව එම පදවිවලට පත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීමත් සැලකිල්ලට ගත යුතු බවද ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම පිණිස ලන්ඩන් නුවරට පැමිණි අවස්ථාවේ බීබීසී (ඕඕඛ්) සිංහල සේවය සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

විශේෂයෙන්ම නීතිය හා සාමය වැනි අමාත්‍යාංශවලට පත් කළ යුත්තේ කවුරුන්දැයි රට තුළ පසුගියදා විවිධ මතවාද පැවැති බව බීබීසී (ඕඕඛ්) සිංහල සේවය මෙහිදී පෙන්වා දී ඇති අතර ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන්ට එහිදී ජාත්‍යන්තර වාතාවරණයද සැලකිල්ලට ගැනීමට සිදුවන බවයි.

ඕනෑම අමාත්‍යාංශයක් පිළිබඳව හා ඒ ඒ විෂය පථය පිළිබඳව ඒ වගකීම දරන කෙනෙක් සම්බන්ධයෙන් රටක් වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් පිළිගැනීමක් තිබිය යුතු බවද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරුන් 15 දෙනකු සහ නියෝජ්‍ය කතානායකවරයා සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව කැබිනට් සංශෝධනයක් සිදුකරන බව ආණ්ඩුව නිවේදනය කර තිබේ.

ඒ ගැන අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ එය කැබිනට් සංශෝධනයකට වඩා සම්පූර්ණයෙන්ම අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමක් ලෙස සලකන බවයි.

සිය ලන්ඩන් සංචාරයෙන් අනතුරුව මුලින්ම අප්‍රේල් 24දා දැනට සිටින අමාත්‍ය මණ්ඩලය මුණ ගැසෙන බවත් ඉන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පැවැසීය.

යෝජිත අලුත් කැබිනට් මණ්ඩලය පැහැදිලිව විද්‍යාත්මක පදනමක් අනුව විෂයයන් බෙදූ අමාත්‍යාංශ සහිත කැබිනට් මණ්ඩලයක් බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

චෝදනා ලබා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කෙරුණු පුද්ගලයන් යළිත් පත් කරන්නේද නැද්ද යන්න තීරණය කිරීම ඒ ඒ දේශපාලන පක්ෂවල වගකීමක් බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

තමා වෙත එන යෝජනාවලදී ඕනෑම කෙනකු කැබිනට් මණ්ඩලයට පත් කිරීම සුදුසුද නැද්ද කියා තමා සොයා බලන බවත් එය තමාගේ වගකීමක් බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ඒ අනුව ජනතාවට විශ්වාස කළ හැකි කැබිනට් මණ්ඩලයක් පත් කිරීම සිය වගකීම බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බීබීසී (ඕඕඛ්) සිංහල සේවය සමඟ පැවැති සාකච්ඡාවේදී වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon