දිවංගත ගාමිණී දිසානායක මැතිතුමා කවදාවත් දේශපාලනය ක්‍රීඩාවට ගෙන ආවේ නැහැ - අර්ජුන රණතුංග ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගන්න කවුරුත් එකතු වෙමු - ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා

  👤  3930 readers have read this article !
By mawbima 2018-05-17

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය ලබාගැනීම වෙනුවෙන් මහත් කැපකිරීමක් කළ ගාමිණී දිසානායක මහතා සිහිකරමින් ඊයේ පැවැති වැඩසටහනකදී එහි ප්‍රධාන සමරු දේශනය ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු වන අර්ජුන රණතුංග මහතා විසින් සිදුකරන ලද අතර, එම සමරු දේශනය අරඹමින් අර්ජුන රණතුංග මහතා කියා සිටියේ ලංකාවේ වත්මන් ක්‍රිකට්වල තත්ත්වය පිළිබඳව තමන් කතා නොකරන බවත් එසේ කතා කිරීම ගාමිණී දිසානායක මහතාට තමන් කරන අගෞරවයක් බවත්ය. "ඒ ගැන කතා කරන්න මම කැමැති නැහැ. ඒක නිසා මේ ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්ත්වයට ගේන්න අපි මොනවගේ දේවල්ද කළේ කියන එක සම්බන්ධයෙන් කතා කරන්න කැමැතියි. පළමුවෙන්ම මම ගාමිණී දිසානායක මහත්මයා ගැන සඳහන් කරන්න ඕන. එතුමාට පුතාලා දෙන්නෙකුයි, දුවෙකුයි හිටියා. මම වෙන්න ඇති හතරවැනි පුතා, එහෙම නැත්නම් මම වෙන්නැති පළමු පුතා. එතුමා ඒ වගේ තමයි මාව බලාගත්තේ. 1980 දශකයේදී මගේ තාත්තා හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ. ගාමිණී දිසානායක මහත්මයා හිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ. එතුමාට ඕන නම් රෙජී රණතුංග කියන දේශපාලනඥයාගේ පුතාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කරන්න තිබුණා. ඒත් එතුමා එහෙම කළේ නැහැ. එතුමාගේ උතුම් ගුණය එදාට වඩා වටින්නේ අද සමාජයටයි. එතුමා දේශපාලනය කවදාවත් ක්‍රීඩාවට ගෙනාවේ නැහැ." යනුවෙන් පැවැසූ රණතුංග මහතා අතීත මතකයන්ද මෙසේ දිග හැරියේය.

"අපේ කණ්ඩායමට සිම්බාබ්වේ සංචාරයක් තිබුණා. ඒ සංචාරයට යන්න පෙර අපි එතුමාව හම්බවෙලා වැඳලයි යන්නේ. එතැනදී එතුමා මට කිව්වා "ඔයාලා එනකොට අර්ජුන මම ඉඳීද දන්නේ නැහැ. හැබැයි මේ ටුවර් එක ඔළුවේ තියාගන්න එකක් විතරයි. ඔයාල දැන් ඉඳන්ම ලෝක කුසලානය ගැන ප්ලෑන් කරන්න" කියලා. එතුමාට ලොකු වුවමනාවක් තිබුණා ලෝක කුසලානය දිනාගන්න. කොහොම වුණත් අපි ලෝක කුසලානයට යන ගමනේදී මට ක්‍රිකට් කණ්ඩායමක් හිටියේ නැහැ. මට හිටියේ ක්‍රිකට් පවුලක්. මේ වෙනස තිබුණේ එතැන. අපි සංචාරයක් යන්න කලින් අරවින්දගේ අම්මාද, හෂාන්ගේ අම්මද රොෂාන්ගේ අම්මද කියලා බලන්නේ නැහැ. හැම දෙනාටම වැඳලයි සංචාරයක් යන්නේ. අපි එහෙමයි එදා හිටියේ. අද එහෙම නැහැ. අද ක්‍රීඩාවේ විනයක් නැහැ" යැයි පැවැසූ රණතුංග මහතා ලෝක කුසලානය අවසන් තරගයට පෙරදී සිදුවූ සිදුවීමක් මතක් කර දුන්නේය.

"සාමාන්‍යයෙන් මට තරගයට පෙර පීඩනයක් එන්නේ නැහැ. ඒත් ලෝක කුසලානයේ අවසන් තරගයට පෙර දිනයේදී බෙල්ල රිදෙන්න ආවා. මගේ ශරීරයට මොකක්ද වෙනව කියලා මට තේරුණා. මේ නිසා ඒ සියල්ල අමතක කරලා මම කෑම ගැනීම සඳහා කෑම ගන්නා ස්ථානයට යනකොට ඕස්ට්‍රේලියානු කණ්ඩායමම එතැන හිටියා. අපේ අයගෙන් එතැන හිටියේ රොෂානුයි, හෂානුයි විතරයි. අනෙක් අය නැහැ. මම ටිකක් විපරම් කරනකොට දැක්කා අනෙක් අය සේරම කාපට් ගන්න ගිහිල්ලා. අපේ සමහරු අය රුපියල් 10,000 කාපට් රුපියල් 1000ට ගන්නවා. එතැනදීම මට හිතුණා අපි ලෝක කුසලානය දිනලා ඉවරයි කියලා. ඒ තරම්ම ඒ අය හිටියේ සැහැල්ලුවෙන්" යැයිද රණතුංග මහතා කීය.

කෙසේ වුවත් ඊයේ එම අවස්ථාවට පැමිණි වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවැසුවේ බෙදී වෙන් වී ඇති සියලු දෙනා එකතු කර ගනිමින් ක්‍රීඩාව දියුණු කිරීම තමාගේ අරමුණ වී ඇති බවය. "අද ක්‍රිකට් ක්‍රීඩාවේ විතරක් නොවෙයි දේශපාලන ක්‍ෂේත්‍රයේත් කල්ලිවාදය ඇතිවෙලා. ඒත් ගාමිණී දිසානායක මහත්මයාට හැකියාවක් තිබුණා හතුරාවත් ළංකරගන්න. එතුමාට කරන්න පුළුවන් වුණ දේ ඇයි අපට කරන්න බැරි. අර්ජුන රණතුංග මහත්මයත් ක්‍රිකට්වලට ආදරෙයි, තිලංග සුමතිපාල මහත්මයත් ක්‍රිකට්වලට ආදරෙයි. ඒ වගේම හිටපු සභාපතිවරුනුත් ක්‍රිකට්වලට ආදරෙයි. මේ සියලු දෙනාම ක්‍රිකට්වලට ආදරෙයි. හැබැයි මම එහි බෙදීමක් වෙන්වීමක් දකිනවා. මම ක්‍රීඩා ඇමැතිකම භාරගත්තට පස්සේ මම දැකපු දෙයක් තමයි ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සහෝදරත්වය බැඳීමට වඩා තියෙන්නේ වෙන්වීමයි. එය ඉතාමත් අවාසනාවන්ත දෙයක්. මම ශ්‍රී ලංකා ක්‍රිකට් ජේ‍යෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයොත් එක්ක කතා කළා. ඒ වගේම අර්ජුණ රණතුංග මහත්මයත් එක්කත් කතා කළා. ඒ සියලු දෙනාගෙන්ම මම උපදෙස් ගත්තා. මගේ සිහිනය, මගේ දර්ශනය මේ සියලු දෙනාම එකතු කිරීමයි. ඒ නිසා මම මේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගන්න එකතු වෙන්න කියලායි" යනුවෙන්ද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා හිටපු ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්න, බේ‍රන්ඩන් කුරුප්පු, කුෂිල් ගුණසේකර, පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා යන මහත්වරුද එක්ව සිටියහ.

මේ අතර මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස මෙවර අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගවලදී දස්කම් දැක්වූ ක්‍රීඩකයකුට සම්මාන පිරිනැමීමක්ද සිදුවූ අතර, එය මේ වසරේ සිට ඉදිරියේදී සෑම වසරකම සිදුවන බවද අනාවරණය විය. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැකගැනීම වෙනුවෙන් පිරිනැමූ ගාමිණී දිසානායක අනුස්මරණ පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මානය (ඉනඪපඪබ ධට බඩඥ ඨචථඥ ට්චථඪදඪ ච්ඪඵචදචරචඬඥ චඹචපඤ) මහනුවර ත්‍රිත්ව විදුහලේ හසිත බෝයගොඩට හිමිවිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon