ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍යයි කුමාර් සංගක්කාර

  👤  3822 readers have read this article !
By mawbima 2018-05-17

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාව සහ ව්‍යුහය නව තත්ත්වයන්ට ගැළපෙන අයුරින් වෙනස් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර පවසයි.

පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කුමාර් සංගක්කාර "කවුරුන් ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට පත් වුණත් එහි ව්‍යවස්ථාවත්, ව්‍යුහයත් ඉතාමත් ශක්තිමත්ව නූතනත්වයට ගැළපෙන අයුරින් සැකසුවහොත් මම සිතන්නේ එයින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල සේවයක් කරන්නට පුළුවන්. මම සෑම විටෙකම සිතූ දෙයක් තමයි එම වෙනස්කම් සිදු කිරීමට හැකියාව ඇත්තේ ශක්තිමත් දේශපාලන නායකත්වයක් සමඟින් පමණයි කියලා" යනුවෙන් පැවැසීය.

ක්‍රිකට් අයතන නිලවරණය පිළිබඳව ද එම අවස්ථාවේ ඔහුගෙන් විමසූ විට "නියමාකාරයෙන් සිදුවිය යුතු වෙනස්කම් සිදුකළහොත් මම හිතන්නේ පත්වන පුද්ගලයන් පිළිබඳ අපි සිතිය යුතු නෑ කියලා. කවුරු පත් වුණත් ක්‍රිකට් ආයතන ව්‍යුහය සහ ව්‍යවස්ථාව ශක්තිමත් නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉදිරියට ගෙනයෑමට එය ප්‍රමාණවත්." යනුවෙන් පැවැසූ සංගක්කාර වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයාගෙන්ද ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සාධාරණයක් ඉටු වේයැයි තමන් සිතන බවත් අමාත්‍යවරයා පමණක් නොව මෙය සාමූහික ප්‍රයත්නයක් විය යුතු බවත් එක් එක් පුද්ගලයන්ගේ ආශාවන් ඉෂ්ට කිරීම හෝ හිටපු ක්‍රීඩකයන්ගේ ආශාවන් ඉෂ්ට කිරීම ගැන නොසිතා ක්‍රීඩාව දියුණු කිරීම පමණක් අරමුණු කර ගනිමින් එය සිදුකළ යුතු බවත් පැවැසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සංගක්කාර පවසා සිටියේ කුමන කමිටුවක් විසින් මෙම වෙනස්කම් සිදු කළත් එය ඉතාමත් වැදගත් දෙයක් බවයි. ඒ සම්බන්ධව ඔහුගේ මැදිහත්වීම කෙසේවේදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ සංගක්කාර "මම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් පමණයි. මේ පිළිබඳව දැනුම තිබෙන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මම හිතන්නේ එය සිදු කිරීම සඳහා ඔවුන් සියලු දෙනාගේම අදහස් ලබා ගත යුතුයි" යනුවෙන් ප්‍රකාශ කළේය.

ඡායාරූපය - මංජුල දයාවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon