21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රටවල් 4ක් සංචිත නම් කරයි

  👤  3868 readers have read this article !
By mawbima 2018-05-17

රටවල් 32ක සහභාගිත්වයෙන් රුසියාවේදී ලබන ජුනි 14 වැනිදා ආරම්භ වීමට නියමිත 21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වීමට නියමිත කණ්ඩායම් මේ වන විට තම පාපන්දු සංචිතයන් ප්‍රකාශයට පත්කරමින් තිබේ. ඒ අනුව රටවල් 22ක් තම මූලික සංචිතයන් හා තාවකාලික සංචිතයන්් ප්‍රකාශයට පත්කර ඇති අතර ඉන් රටවල් 4ක් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 23 දෙනකුගෙන් සමන්විත තම අවසන් සංචිතය ප්‍රකාශයට පත්කර තිබීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙම ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම්හි අවසන් පාපන්දු සංචිතය ක්‍රීඩකයන් 23 දෙනකුගෙන් සමන්විත විය යුතු අතර එම සංචිතයට ගෝල රකින්නන් තිදෙනකු අනිවාර්යයෙන් ඇතුළත් විය යුතුය. තරගාවලිය ආරම්භ වීමට දින 10කට පෙර, එනම් ජුනි 4 වැනිදා එම රටවල් තම අවසන් පාපන්දු සංචිතය ප්‍රකාශයට පත්කළ යුතු වේ. ඊට ප්‍රථම ඔවුන්ට ක්‍රීඩකයන් 30 දෙනකුට වැඩි තාවකාලික සංචිතයක් හෝ ක්‍රීඩකයන් 30 දෙනකුට අඩු මූලික සංචිතයක් ප්‍රකාශයට පත්කිරීමට හැකියාව ඇත. එමෙන්ම මෙම තරගාවලියේදී කණ්ඩායම් තම අවසන් සංචිතයන් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ක්‍රීඩකයකුට ආබාධයක් හෝ වෙනත් කරුණක බලපෑම් හේතුවෙන් ආදේශනයක් සිදුකිරීමට අවශ්‍ය වුවහොත් එම කණ්ඩායමේ පළමු තරගය ක්‍රීඩා කිරීමට පැය 24කට පෙර එම ආදේශනය කළ යුතු බවද මෙවර ලෝක කුසලාන නීති රීති මාලාවේ සඳහන්ය.

කෙසේ නමුත් බ්‍රසීලය, අයිස්ලන්තය, කෝස්ට්රිකා හා ස්වීඩනය තම අවසන් සංචිතය ප්‍රකාශයට පත්කර ඇති නමුත් බෙල්ජියමය, එංගලන්තය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් 10ක් කිසිදු සංචිතයක් තවමත් ප්‍රකාශයට පත්කර නොමැත. පාපන්දු ලෝකයේ ප්‍රබල ක්‍රීඩකයන් වන ක්‍රිස්ටියානා රොනාල්ඩෝ (පෘතුගාලය), ලයනල් මෙසී (ආජන්ටිනා), නෙයිමාර් ද සිල්වා (බ්‍රසීලය) හා මොහොමඩ් සලා (ඊජිප්තුව) මෙම ප්‍රකාශිත සංචිතවලට ඇතුළත්ව තිබේ. තවද මෙවර පාපන්දු ලෝක ශූරයන් වන කණ්ඩායමට ඇ.ඩොලර් මිලියන 38ක ත්‍යාග මුදලක්ද, අනුශූරයන්ට ඇ.ඩොලර් මිලියන 28ක ත්‍යාග මුදලක්ද පිරිනැමෙන අතර තෙවැනියාට ඇ.ඩොලර් මිලියන 24ක්ද පිරිනැමේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon